පිරමිඩ ක්‍රමයට කෝටි 800ක් වංචා කළ පස්දෙනකුට විදේශ ගමන් තහනම්

ස්පෝර්ට්ස් චේන් නමැති මෘදුකාංගයකුත් හඳුන්වා දීලා

ස්පෝර්ට්ස් චේන් නමැති ව්‍යාජ ක්‍රිප්ටෝ පිරමීඩ ක්‍රමයේ මුදල් ආයෝජන කළ පුද්ගලයන්ට එම මුදල් ‍හෝ ප්‍රතිලාභ නොගෙවා රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකරුවන් පස්දෙනකුගේ විදේශ ගමන් තහනම් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (12) නියෝග කළේය.

මෙසේ විදේශ ගමන් තහනම් කළ විත්තිකරුවන් පස්දෙනාට ලබන දෙසැම්බර් 9 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් මහේස්ත්‍රාත්වරයා මෙහිදි සිතාසි නිකුත් කළේය.

මහරගම පදිංචි අමිත් වික්‍රමගේ ,කුරුණෑගල ශමල් කිර්ති බණ්ඩාර, පොල්පිතිගම ශානක මධුශාන් වික්‍රමරත්න, ගිරිබාව පදිංචි රෝවින්ද මංජුල මැදවත්ත හා නිකවැරටිය ප්‍රදීප් කුමාර හන්තාන යන විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙසේ ආගමන විගමන පාලකවරයා වෙත නියෝග නිකුත් කළේය.

මෙම පිරමීඩ ක්‍රමයේ මුදල් ආයෝජන කිරීම සඳහා විවිධ වෘත්තිකයන් ‍ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් පෙළඹි ඇති අතර, දැනටමත් රහස් ‍පොලිසිය වෙත පැමිණිලි ලැබෙමින් පවතින බවට කරුණු අනාවරණය වේ.

ස්පොර්ට්ස් චේන් සොසයිටි ශ්‍රි ලංකා නමින් සමාජයක් පිහිටුවා ස්පෝර්ට්ස් චේන් නමැති මෘදුකාංගය හඳුන්වා මෙසේ මුදල් ආ‍යෝජන ක්‍රමයට සම්බන්ධ විශ්වාසයක් ඇති කර මෘදුකාංගය හරහා මුදල් යෙදවීම සිදු කළ බව පැමිණිල්ලේ සඳහන්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, කෝටි 1500 ක මුදලක් වංචා කර ඇති බවට කරුණු අනාවරණය වන බවට සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.