තමන්ගේම මුදල් ගැනීමට බැංකු සේවකයින්ව ප්‍රාණ ඇපයට ගත් රටක්

ආර්ථික අර්බුදය හේතුවෙන් ලොව බොහෝ රටවල ජනතාව දැඩි ලෙස බැටකති.

ඒ අතර ලෙබනනය ද වෙයි.

බැංකුවල තැන්පත්කර ඇති තම මුදල් ලබාගැනීමට ද එරට ජනතාවට හැකියාවක් නොමැත්තේ බොහෝ බැංකුවල මුදල් නොමැති කම සහ නිකුත්කරන මුදල් සීමාකර ඇති බැවිනි.

ඒ හේතුවෙන් සිය මුදල් නැවත ලබාගැනීම සඳහා තැන්පත්කරුවන් දෙදෙනෙක්, සිය මුදල් නැවත ලබාදෙන තෙක් බැංකු දෙකක සේවකයින් බලහත්කාරයෙන් රඳවා තබාගැනීමේ පුවත් එරටින් වාර්තා විය.

ලෙබනන අගනුවර වන බේරුට් නගරයේදී තුවක්කුවකින් සන්නද්ධව පැමිණි කාන්තාවක් සහ තවත් කිහිපදෙනෙක් බ්ලොම් නම් බැංකුවේ සේවකයින්ව ප්‍රාණඇපයට තබාගෙන තිබුණි.

ඇය එහිදී සිය සහෝදරියගේ පිළිකා ප්‍රතිකාර සඳහා අවශ්‍යව තිබූ ඩොලර් 13,000කට ආසන්න මුදලක් තමාගේම බැංකු ගිණුමෙන් ලබාගත්තාය.

එම සිද්ධිය වාර්තා වී සුළු වේලාවකට පසුව ඇලෙයි නම් නගරයේ “Bankmed” බැංකුවේ ශාඛාවකට ගිය තවත් සන්නද්ධ පුද්ගලයෙක් එම බැංකුවේ රඳවාගෙන තිබු සිය තැන්පතු මුදල් බලෙන් ලබාගෙන ඇති බව වාර්තා විය.  

අනතුරුව ඔහු බලධාරීන්ට භාරවී තිබුණි.

වසර තුනකට පමණ පෙර ඇරඹුණු මූල්‍ය අරබුදය හේතුවෙන් ලෙබනනයේ බොහෝ බැංකු සිය ඉතිරිකිරීමේ ගිණුම් වලින් ගනුදෙනුකරුවන් නැවත මුදල් ලබාගැනීම අවහිර කර තිබේ.  

ඒ හේතුවෙන් සිය එදිනෙදා කටයුතු සඳහා මුදල් ලබාගැනීම පවා එරට ජනතාවට අපහසු වී ඇති බව සඳහන් ය.

මෙවැනිම සිද්ධියක් පසුගිය මාසයේදී බේරුට් නගරයෙන් වාර්තා වූ අතර එහිදී සිය පියාට ප්‍රතිකාර කිරීම සඳහා මුදල් අවශ්‍ය බව පවසමින් සන්නද්ධව පැමිණි පුද්ගලයෙක් බැංකු සේවකයින්ව සිය ග්‍රහනයට ගෙන සිය ගිණුමෙන් මුදල් ලබාගත්තේය.

Leave a Reply

Your email address will not be published.