ආනයනික සහල්වල උග‍්‍ර විෂකාරක.. ඊයම් 43%, කැඩ්මියම් 26%, රසදිය 20%, සෙලනියම් 47%ක්..

පිටරටින් ගෙන්වන සහල්වල පිළිකා කාරක සේම අඩු දරු උපත් ඇති කරන විෂ රසායනික බහුලව අඩංගු බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය කළ පර්‌යේෂණයකදී අනාවරණය වී තිබේ.

එම කාර්යාලය සඳහන් කරන පරිදි මෙරට භාවිත කරන සහල්වල අඩංගු විය යුතු ආසනික් ප්‍රමාණය සියයට 0.2 ක්ද, ඊයම් 0.2 ක්ද, මර්කරි (රසදිය) 0.1 ක්ද, සෙලනියම් 0.3 ක්ද වේ. මෙම සියල්ල බැර ලෝහ සේම පිළිකාකාරක වේ.

නමුත්,දේශීය වෙ​ෙළඳ පොළේ තිබෙන ආනයනික සහල්වල සාම්පල ලබාගෙන කරන ලද පර්‌යේෂණයේදී අනාවරණයවී ඇත්තේ එහි ඊයම් සියයට 43 ක්ද, කැඩ්මියම් සියයට 26 ක්ද, මර්කරි සියයට 20 ක්ද, සෙලනියම් සියයට 47 ක්ද අඩංගු බවය.

මෙම පර්‌යේෂණයේදී පළමුව සහල් සාම්පල ගෙන සෝදා ඉවත් කළ ජලය යොදා වේලා ගැනීමෙන් පසු කුඩුකර අනතුරුව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් යොදා ජීර්ණය කර තිබේ. මෙම සාම්පල පී.එම්.එස්. නමැති උපකරණයක් යොදාගෙන විශ්ලේෂණය කර ඇත. පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයයේ පර්‌යේෂණ නිලධාරිනියන් විසින් මෙම පර්යේෂණය සිදුකර ආනයනික සහල්වල අඩංගු බැර ලෝහ අධික ප්‍රතිශතයන් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

නමුත්, දේශීය සහල්වල අඩංගුව ඇත්තේ සෙලනියම් සියයට 0.5 ක්ද, රසදිය 0.5 ක්ද වන බව අනාවරණය කරගෙන ඇත. ආනයනික සහල් පාරිභෝජනය නිසා පිළිකා, අඩුබර දරු උපත් ඇතිවීම සේම දරුවන්ගේ මොළය වර්ධනය වීම අඩාළ වන බවද හෙළි වී තිබේ.

මෙරට භාවිතය තහනම් කර තිබෙන පළිබෝධනාශක වර්ග රැසක් මෙම ආනයනික සහල් නිෂ්පාදනයේදී යොදා ගන්නා අතර, ඉන් ග්ලයිෆොසෙට්, කාබොෆියුරාන්, මොනක්‍රොටපස් ආදී අධි සැර වල් නාශක ප්‍රධාන වේ.

ආනයනික සහල් වසර දෙකක කාලයක් නරක් නොවී තබාගත හැකි අතර, එහිදී කල් තබා ගැනීමටද විවිධ රසායනික වර්ග යොදන බව අනාවරණය වේ.

මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට අගෝස්තු අවසානය දක්වා කාලය තුළදී සහල් මෙට්‍රික් ටොන් 596,440 ක් ආනයනය කර ඇති අතර, ඒ සඳහා වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 64,591 කි.

සහල් ආනයනය සඳහා අති විශාල මුදලක් රජය සහ පෞද්ගලික අංශය වැය කළත්, යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට රුපියල් බිලියන දෙකක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබාදීමට රජය අපොහොසත්වී ඇත.

Leave a Reply

Your email address will not be published.