2012 සිට ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ විවිධ යෝජනා සම්මත වුණා. නමුත් මෙවර සමුළුව තීරණාත්මකයි. මෙවර සමුළුවේ දී ලංකාව පිලිබඳ යෝජනාවක් සම්මත කර ගැනීමට අපේක්ෂා කරනවා. මීට පෙර 2012, 2013, 2014 සහ 2021 යන වසර වල දී ලංකාවට එරෙහිව යෝජනා සම්මත වුණා. වෙනදා යෝජනාව සම්මත වී එතැනින් කතාව ඉවරයි.
නමුත් මෙවර ඒ යෝජනාවෙන් ඉහල වැඩි ඡන්දයකින් සම්මත වුවහොත් එහි සදහන් කරුණු ලංකාවට ආධාර ලබා දීමේ කොන්දේසි බවට පත් කිරීමේ අවදානමක් තිබෙනවා. ඒ කියන්නේ 47 න් 24 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මේ ගෙන එනු ලබන යෝජනාවට පක්ෂ වුවහොත් ඒවා ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමේදී කොන්දේසි බවට පත්වීමේ අවදානමක් තිබෙනවා.
මානව හිමිකම් සභාවේ සාමාජිකයින් 47යි. එයින් තුනෙන් එකක් සෑම වසරකම අළුතින් පත් වෙනවා. ඒ ඒ රටවල් ලංකාවට එරෙහිව පෙර වසර වල දී සම්මත වුණු යෝජනා වල දී ඡන්දය දුන් ආකාරයත් ලංකාව පිලිබඳ මීට පෙර ඡන්ද දී නැති රටවල් වෙනත් ඡන්ද වල දී කාට පක්ෂව ද කටයුතු කලේ කියන කාරණයත් අධ්‍යනය කලාම මෙවර ඡන්දය පිලිබඳ අදහසක් අපට ඇති කර ගන්න පුළුවන්. 2021 දී ලංකාවට එරෙහිව සම්මත වුණු යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබෙන විට විරුද්ධව ලැබුණේ 11යි. රටවල් 14ක් ඡන්දය දීමෙන් වැලැකී සිටියා. එදා ඡන්දය දුන් රටවල් 2/3ක් තවමත් සභාවේ ඉන්නවා. ඒ වගේම ඉන්දියාව, ආර්ජන්ටිනාව, එරිත්‍රියාව සහ සෝමාලියාව මේ වසරේ දී සාමාජිකත්වය අහිමි වුණත් නැවත පත් වී තිබෙනවා. 2021 දී යෝජනාවට පක්ෂ වුණු රටවල් 8ක් විරුද්ධ වුණු රටවල් 2ක් සහ ඡන්දය දීමෙන් වැලැකි සිටි රටවල් 4ක් මෙවර සභාව තුල නෑ.
අපි එක් එක් රටවල ඡන්දය දීමේ අතීත රටාවන් ගැඹුරින් අධ්‍යනය කළා. ඒ රටවල නම් නොකියන්නේ අපේ අදහස් දැක්වීම් හරහා ලබා ගන්න තිබුණු ඡන්දයක් නැති කර ගත්තා කියලා චෝදනාවක් එල්ල විය හැකි නිසා. ඇත්තෙන්ම අද තිබෙන තත්වය වෙනස් කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා. නිදසුනක් ලෙස 2021 දී යුක්රේනය යෝජනාවට පක්ෂවත් රුසියාව යෝජනාව විරුද්ධවත් ඡන්දය දුන්නා. නමුත් යුක්රේන – රුසියානු යුද්ධය පිලිබඳ යෝජනාවේ දී ලංකාව ඡන්දය දීමෙන් වැලැකී සිටියා. මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ඒ බව සිහිපත් කරලා යුක්රේනයට ඡන්දය දීමෙන් වැලැකී සිටින තැනකට තල්ලු කර ගන්න අපට අවස්ථාව තිබෙනවා. යුද්ධයකට මැදි වී කාගේත් උදව් අවශ්‍ය මොහොතක යුක්රේනය පැත්තක් නොගෙන ඉන්න කැමැති වේවි.
අපේ අධ්‍යනය අනුව මෙවර යෝජනාවට පක්ෂව ඡන්ද 24ක් ද විරුද්ධව 11ක් ද ලැබෙන විට රටවල් 12ක් ඡන්දය දීමෙන් වැලැකි සිටීමට ඉඩ තිබෙනවා. මෙම යෝජනාවේ තිබෙන භයානකකම වන්නේ මේ යෝජනාවේ අඩංගු කරුණු ලංකාවට ආධාර ලබා දීමේ කොන්දේසි බවට පත් කිරීමේ අවදානමක් පැවැතීමයි.
1997 දී ආසියානු මූල්‍ය අර්බූදය අවස්ථාවේ ඉන්දුනීසියාවට ආධාර ලබා දීමට බටහිර ප්රජාවත් ජාත්‍යන්තර ආයතනත් දේශපාලන කොන්දේසි දැම්මා. නැගෙනහිර තිමෝරයට නිදහස ලබා දීමත් අචේ ප්‍රාන්තයට ස්වයංපාලනය ලබා දීමත් ඒ අතර වුණා. ඉන්දුනීසියාව කැඩි බිඳී යනවාට විරුද්ධව සිටි ජනතාව නැගෙනහිර තිමෝරයට වෙන් වී යන්න ඉඩ දී හරි අපට කන්න දීපල්ලා කියා පෙලපාලි ගියා. ඒ යෝජනාව වෙනුවෙන් පෙනී සිටි මෙඝාවති සුකර්ණොපුත්රි දැවැන්ත ජන වරමකින් ජනාධිපති වුණා.
මෙවර ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක මිරිකී සිටීම තුල බෙදුම්වාදීන් තමන්ගේ මනදොළ සපුරා ගැනීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව හරහා කටයුතු කිරීමේ ප්‍රබල අවදානමක් තියෙනවා. අපි ජාත්‍යන්තර ප්‍රජාවට කියන්නේ රටක් අමාරුයි වැටුණු වෙලාවක අසරණ වූ වෙලාවක අයුතු ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ දැරීම ඉතාම අසාධාරණයි. අශීලාචාරයි.
හැබැයි මේ සිදුවීමේ අවදානම අපි කලින්ම දැක්කා. ඉන්දුනීසියානු උදාහරණය අමාත්‍ය මණ්ඩලය තුළ කියමින්, මාධ්‍ය හමුවල කියමින්, ශ්‍රී ලංකාව ආණ්ඩුව විසින් සිතාමතාම ආර්ථික අර්බුදයකට ගෙන යනවා මේ ආර්ථික අර්බුදයකට ගෙනයාමේ යටි අරමුණ වන්නේ රාජ්‍ය දේපළ තුට්ටු දෙකට විකුණා දැමීමත් ශ්‍රී ලංකා රාජ්‍ය දුර්වල කිරීමේ ශ්‍රී ලංකාව කැබලි කිරීමේ බටහිර න්‍යාය පත්‍රයට අවශ්‍ය පසුබිම සකස් කිරීමත් බව අපි පෙන්වා දුන්නා.
නමුත් අවාසනාවකට ආන්ඩුවේ පාලකයෝ මීට ඇහුම්කන් දුන්නේ නෑ. අපි අනතුරු අඟවපු ඒ බියකරු සිහිනය සැබෑ වෙමින් පවතිනවා.
මෙම මාධ්‍ය හමුව සඳහා පිවිතුරු හෙළ උරුමය ගම්පහ දිසා සංවිධායක අන්ජන උදාර මහරගම ආසන සංවිධායක කින්ස්ලි නිහාල් යන මහත්වරුන්ද සහභාගී විය.