ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමඟ හිටපු දැවැන්තයන් 8ක් වැඩ

ශ්‍රී ලංකා ක්‍රිකට් උප­දේ­ශක මහේල ජය­ව­ර්ධන හා වේග පන්දු උප­දේ­ශක ලසිත් මාලිංග සහාය පුහු­ණු­කරු නවීඩ් නවාස්

ජයග්‍රහණයේ රහස ක්‍රිකට් සභාපති හෙළි කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දියුණුව වෙනුවෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෝ 8ක් ඍජුවම සහයෝගය දැක්වීමට එක්ව සිටිති. මේ සහයෝගීතාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල වේගවත් දියුණුවක් ලබා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඉතිහාසයේ කිසිදු දිනෙකටත් වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමඟ හිටපු ක්‍රීඩකයන් කටයුතු කරන හෙයින් පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන්ට පහසු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටී.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස මහේල ජයවර්ධන මහතා කටයුතු කරන අතර, ශ්‍රී ලංකා පිලේ වේග පන්දු උපදේශකයා ලෙස පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ (25) ආරම්භ වූ පුහුණු කඳවුරේ ලසිත් මාලිංග කටයුතු කරමින් සිටී.

ශ්‍රී ලංකා පිලේ සහාය පුහුණුකරු ලෙස නවීඩ් නවාස්, වේග පන්දු පුහුණුකරු ලෙස දර්ශන ගමගේ හා දඟ පන්දු පුහුණුකරු ලෙස පියල් විජේතුංග යන මහත්වරු ඍජුවම කටයුතු කරමින් සිටිති. එයට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, එහි සාමාජිකයන් ලෙස රොමේෂ් කලුවිතාරණ හා හේමන්ත වික්‍රමරත්න යන මහත්වරුන්ගේ දායකත්වය ලැබී තිබේ.

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු අත්දැකීම් බහුල ක්‍රිකට් ක්‍රීඩකයා වන බැවින් තරගයකට පෙර කණ්ඩායමේ සැලසුම් සකස් කිරීමේදී පුරෝගාමි මෙ‍ෙහවරක නිරත වේ. මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලැබූ ජයග්‍රහණ පිටුපස මහේල ජයවර්ධන මහතා විශාල කාර්යයක් ඉටු කළ බැවින් ඒ මහතාගේ සේවය ගැනීමට කටයුතු කළ බව ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කළේය. මහේල ජයවර්ධන මහතා විසින් ක්‍රිකට් කණ්ඩායම තේරීමේදී හා ජයග්‍රහණ වෙනුවෙන් අවශ්‍ය උපාය මාර්ගික සැලසුම් සකස් කිරීමේදී විශාල කාර්යයක් ඉටුකර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් ලෙස සැලකෙන මහේල ජයවර්ධන මහතා පසුගිය වසරේ පැවති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස කෙටි කලක් සේවය කළ ද ජාතික ක්‍රිකට් පිලේ උපදේශක ලෙස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ කාලය තුළ කටයුතු කිරීමට එකඟ වී ඇත. ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස දිගු කලක් කටයුතු කළ මහේල ජයවර්ධන ටෙස්ට් තරග 149ක්, එක්දින තරග 448ක් හා විස්සයි20 ජාත්‍යන්තර තරග 55ක් වෙනුවෙන් ශ්‍රී ලංකා පිල නියෝජනය කළේය.

වේග පන්දු උපදේශක ලසිත් මාලිංග ශ්‍රී ලංකා පිලට විශාල සම්පතක් බව එක්දින හා විස්සයි20 නායක දසුන් ශානකගේ මතය වී තිබේ. ටෙස්ට් තරග 30ක්, එක්දින තරග 226ක් හා විස්සයි20 ජාත්‍යන්තර තරග 84ක් නියෝජනය කළ අත්දැකීම් බහුල වේග පන්දු යවන්නකු බැවින් ශ්‍රී ලංකා පිලේ තරුණ ක්‍රීඩකයන්ට විශාල ශක්තියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පැවසීය. වසර 2002දී ශ්‍රී ලංකා ටෙස්ට් වරම් දිනාගත් නවීඩ් නවාස් එක්දින ජාත්‍යන්තර තරග 3කට ක්‍රීඩා කළ අතර, ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ වයස 19න් පහළ බංග්ලාදේශ පිල ලෝක කුසලානය දිනා ගැනීමෙන් කුසලතා ප්‍රදර්ශනය කළේය. එමෙන්ම වේග පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලයේ සිටින දර්ශන ගමගේ 2003 වසරේදී ශ්‍රී ලංකා එක්දින වරම් දිනාගත් ක්‍රීඩකයෙකි.

දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග 1993දී දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් අතර, වසර කිහිපයක් තිස්සේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටිති. රංගන හේරත්, තරිඳු කෞෂාල් හා දිල්රුවන් පෙරේරා ඇතුළු දක්ෂ දඟ පන්දු යවන්නන් බිහි කළ පුහුණුකරුවකු ලෙස පියල් විජේතුංග ඉතිහාසයට එක්ව සිටී.

විවිධ විවේචන මැද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කරන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා හා එම කමිටු සාමාජිකයන් වන රොමේෂ් කලුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න යන මහත්වරු ද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල සේවයක් කළ ක්‍රීඩකයෝ වෙති. 96 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා පිලේ සාමාජිකයෝ වන ප්‍රමෝද්‍ය (ටෙස්ට් තරග 40 හා එක්දින තරග 134), කලුවිතාරණ (ටෙස්ට් තරග 49 හා එක්දින තරග 189) තම අත්දැකීම් ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණුව වෙනුවෙන් ලබාදී සිටිති.

2018 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කරන හේමන්ත වික්‍රමරත්න මහතා දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින වරම් දිනා ශ්‍රී ලංකා පිල නියෝජනය කළේය.

මෙලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායම වටා එක් රොක්ව කටයුතු කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ ලබා තිබෙන සාර්ථකත්වයේ ප්‍රධාන රහස වී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අවධාරණය කළේය.

“අපට ඉස්සර තිබ්බ ලොකුම පාඩුව තමයි අපේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් කණ්ඩායම වටා එකතුවෙලා හිටපු නැති එක. අපේ දැන් ඔක්කොම ක්‍රීඩකයන් ටික විවිධ පැතිවලින් කණ්ඩායම සමඟ එකතු වෙලා ඉන්නේ. එයින් අපිට ලොකු සේවයක් වෙනවා. ඒක තමයි අපේ වෙනසේ රහස” යනුවෙන් ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.