දෙකෝටියේ කොල්ලය වැළැකූ සැරයන්ට උසස්වීමක්

දිවි පරදුවට තබා තඹුත්තේගම දෙකෝටියේ මුදල් කොල්ලය ව්‍යර්ථ කළ පොලිස් සැරයන්වරයාට උසස්වීමක් හා ත්‍යාග මුදලක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබේ.

එමෙන්ම මෙතෙක් වැඩ අවසන් නොකළ ඔහුගේ නිවසේ ඉදිකිරීම් ද අවසන් කරදෙන බව උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසීය. 

තඹුත්තේගම නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ව්‍යාපාරිකයෙක් ගෙනආ රුපියල් ලක්ෂ 223 ක මුදලක් කොල්ලකෑමට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඊයේ (26) දහවල් උත්සාහ දරා තිබුණි. 

එම කොල්ලය වළක්වනු ලැබුවේ, තඹුත්තේගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතාය. 

සිය ජීවිතය ද පරදුවට තබා සිය වගකිම් ඉටුකළ පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතා අනුරාධපුර එප්පාවල පදිංචිකරුවෙකි.

තවමත් වැඩ අවසන් නොකළ නිවසක දිවි ගෙවන ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

රටේම කතාබහට ලක්වු එම නිර්භීත ක්‍රියාව සම්බන්ධයෙන් බුද්ධික කුමාර මහතාගේ බිරිඳ මෙලෙස අදහස් පළකළාය. 

“මට එයා ගැන ලොකු ආඩම්බරයක් තිබෙනවා. එයා ඒ වගේ ගොඩක් දේවල්වලට බය නැතුව ඉදිරිපත් වෙනවා. ඒ වගේම ලොකු බයකුත් තිබෙනවා…අද තියෙන රටේ තත්ත්වයත් එක්ක. එයා රාජකාරී නිම කරලා පාන්දර තනියම ගෙදර එන්නේ.”

මේ අතර උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා අද (27) පෙරවරුවේ පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතාගේ නිවසට පැමිණියේය.

එහිදී ඔහු සඳහන් කළේ,

“පුතා කරපු දේ පොඩ්ඩක් වැරදුණා නම් අද අපිට එන්න වෙන්නේ මේ ගෙදරට නෙමෙයි. ඔයා ජීවිතය පරදුවට තියලා මේ දේ කළේ. පොලිස්පතිතුමා කතා කරලා කිව්වේ ඒ නිලධාරියාට පොලීසිය පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දේ කරන්න කියලා.”

මේ අතර අදාළ කොල්ලකෑමට අධාර අනුබලදීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවෙකු තඹුත්තේගම පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රාජාංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.

කොල්ලකෑමට පැමිණි සැකකරුවන් දෙදෙනාට යතුරුපැදිය ලබාදීම සම්බන්ධයෙන් මෙම ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවිය.

කොල්ලකෑම සඳහා පැමිණි එම ප්‍රදේශයේම පදිංචි 48 හා 50 හැවිරිදි වියේ පසුවූ සැකකරුවන් දෙදෙනෙකු තඹුත්තේගම පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත් අතර බෝර 12 ගිනි අවියක්, බෝර 12 පතොරමක් හා මන්නා පිහියක් ද පොලිස් භාරයට ගෙන තිබුණි.

ඒ අනුව සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද දහවල් තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී තඹුත්තේගම මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන් ඔක්තෝබර් 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published.