තායිලන්ත ඝාතකයා සියදිවි හානිකරගනී

තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ලකළ සැකකරු පසුව සිය බිරිඳ හා දරුවා ද ඝාතනය කර සියදිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම වෙඩි ප්‍රහාර මාලාවෙන් කුඩා ළමුන් 23 දෙනෙකු ඇතුළු 36 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඒ අතර වයස අවුරුදු දෙකක කුඩා දරුවන් තිදෙනෙකු වන බව සඳහන්.

මෙම පුද්ගලයා විසින් දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලයේ 5 දෙනෙකුට පළමුව වෙඩි තබා ඇති අතර පසුව ළමුන් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදුකර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

තුවක්කුකරු හිටපු පොලිස් නිළධාරියෙකු බවට මේ වන විට සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.

34 හැවිරිදි සැකකරු මත්ද්‍රව්‍ය චෝදනා හේතුවෙන් පසුගිය වසරේ වැඩ තහනමට ලක්වූ අයෙකු බවයි තායිලන්ත බලධාරීන් පවසයි.

තායිලන්තයේ මෙවැනි සිදුවීම් දුර්ලභ වන නමුත් 2020 වසරේදී ද හමුදා සාමාජිකයෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබුණි.

Leave a Reply

Your email address will not be published.