ශ්‍රී ලංකාව ගැන නව යෝජනාව, මානව හිමිකම් කවුන්සිලයේ විවාදයට

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී ඇති නව යෝජනාව සම්බන්ධයෙන් විවාදය අද (06) පැවැත්වීමට නියමිතව තිබේ.

සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදාළ යෝජනාව ඉදිරිපත් වී ඇති බව සඳහන් ය.

එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, කැනඩාව, මලාවී, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසඩෝනියාව ඇතුළු රටවල් කිහිපයක මුලිකත්වයෙන් එම යෝජනාව ඉදිරිපත් කළ අතර මේ වන වන විට ඊට රටවල් 30ක පමණ සහය හිමිව තිබේ.

ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ නව යෝජනාවට මීට පෙර සම්මත කර ගැනුණු යෝජනාවල කරුණු මෙන්ම තවත් වගන්ති කිහිපයක් ද ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

හමුදා බලපෑම් ඉහළ යාම, රාජ්‍ය පාලනය විනිවිඳභාවයකින් තොර වීම, බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා දඩුවම් නොපැනවීම වැනි කරුණු අදාළ යෝජනාවට ඇතුළත් කර තිබේ.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය, සංහිඳියාව සහ තිරසර සාමයට මෙන්ම සංවර්ධනය ද ප්‍රධාන බාධාවක් වී ඇති බව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වේ.

ආර්ථික ගැටලු සඳහා විසඳුම් ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල එකඟතා යෝජනාව ප්‍රසාදයට ලක් කර ඇති අතර මෙරට මානව හිමිකම් තත්ත්වය කෙරෙහි දූෂණය දැඩි අහිතකර බලපෑමක් ඇති කර ඇති බව පැවසේ.

එම නිසා මානව හිමිකම් සුරැකීම සහ ප්‍රවර්ධනය මෙන්ම දූෂණයට එරෙහි සටන ද ශක්තිමත් කළ යුතු බව අදාළ යෝජනාව මගින් පෙන්වා දී තිබේ.

සාමකාමී විරෝධතා ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතීන් ශක්තිමත් කිරීමට ඉවහල් වන බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන එක් කළ ද ඒ යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම තවදුරටත් සිදුවන බව එහි වැඩිදුරටත් දැක්වේ.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් එම යෝජනාව පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාවට හැකි නොවනු ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.