කාන්තාවකට අතවර කළ කපුවා අත්අඩංගුවට

කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව දේවගැති කපුවෙකු යැයි පැවසෙන පුද්ගලයෙක් කළුඅග්ගල, වග ප්‍රදේශයේ දී කොස්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නොවරදින ගුරුකම් සිදුකරන දේවාලයක් පවත්වාගෙන යන බවට මුහුණුපොතේ පළ කර තිබූ දැන්වීමක් අනුව කාන්තාවක් නිවසකට රැගෙන විත් මත්වන පානයක් ලබාදී තමාව නිරුවත් කර ඡායාරූප ලබාගනිමින් දුෂණය කළ බවට අදාළ කාන්තාව පොලීසියට පැමිණිලි කර ඇත.

කාන්තාවගෙන් වෙන්ව ජීවිත්වන ඇයගේ ස්වාමියා නිවසට ගෙන්වා ගැනීමට ගුරුකමක් කර ගැනීමට අවශ්‍ය බව පැවසීමත් සමග සැකකාර කපුවා කාන්තාවගේ දුරකථන අංකය ලබාගෙන තිබේ.

පසුව පුජාවකට සහභාගි විය යුතු බව පවසා අදාළ කාන්තාව සැකකාර කපුවා පදිංචිව සිටි නිවසට ගෙන්වාගෙන ඇතැයි පොලීසිය පවසයි.

එහිදී දුෂණයට ලක්ව ඇත්තේ කුරුණෑගල, කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එක්දරු මවකි.

අදාළ පූජාව පැවැත්වීමට සැලසුම් කර එම කාන්තාවට අවිස්සාවේල්ල ප්‍රදේශයට පැමිණෙන ලෙස පවසා සැකකාර කපුවා විසින් යතුරුපැදියෙන් ගොස් එම කාන්තාව දේවාලය පිහිටි නිවස වෙත රැගෙන විත් ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අදාළ පූජාව සඳහා තවත් අය සහභාගී වන බව සැකකාර කපුවා පවසා තිබුණන ද රාත‍්‍රී වනතුරුත් වෙනත් කිසිවෙකු නොපැමිණි බැවින් නැවත තමන් යායුතු බවට පවසා බීමට ජලය ඉල්ලා සිටි අවස්ථාවේ දී දුන් ජලය පානය කිරීමෙන් පසු එම කාන්තාවට නින්ද ගොස් ඇත.

අවදි වී බලන විට තමා නිරුවත් කර තිබූ බවත් ඡායාරූප ගෙන තිබූ බවත් අදාළ කාන්තාව සිදුකළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව සැකකාර 72 හැවිරිදි කපුවා වැලිපැන්න, ගහමුල, උඩදෙණිය දුම්මලදෙණිය ප්‍රදේශයේ දී කොස්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පස්දරු පියෙක් බව පොලීසිය පවසයි.

සැකකරු අවිස්සාවේල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොස්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාධව විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංහයේ උප පොලිස් පරීක්ෂක රණතුංග පරීක්ෂණ පැවැත්වයි.

Leave a Reply

Your email address will not be published.