මරදානේ දුම්රිය දුම්රිය කෞතුක ගම්මානයක්

දුම්රිය උප සංස්කෘතියේ පැරණි අත්දැකීම විඳ ගැනීමට හැකිවන ආකාරයට මරදාන ටෙක්නිකල් හන්දියේ තිබු දුම්රිය කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය කෞතුක ගම්මානයක් ලෙස ඉදිවෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක (සැලසුම්) ජේ.ඒ.ඩී.ආර් පුෂ්පකුමාර මහතා ඊයේ (9) පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ටෙක්නිකල් හන්දියේ නිමවෙමින් පවතින දුම්රිය කෞතුක ගම්මානය පිළිබඳ කළ විමසීමට පිළිතුරු දෙමිනි. එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය. කොළඹ වැනි තදාසන්න ප්‍රදේශයක දී කෞතුකාගාර ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වෙන සංචාරකයන්ට ගෑස් ලාම්පු, රේල් කාර්, දුම්රිය වේදිකා, වාෂ්ප එන්ජින්, ගල් අඟුරු ඒ කාලේ නිලධාරීන් ඇඳි නිල ඇඳුම්වලින් නිමවුණු දුම්රිය උප සංස්කෘතියේ වටිනා අත්දැකීම ගත හැකියි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය අපේ ඉපැරණි දුම්රිය සංස්කෘතියට යොමු වී තිබේ. මෙම ගම්මානය හුදෙක් නිකම්ම නිකං කෞතුකාගාරයක් යැයි කියනවාට වඩා දුම්රිය කෞතුක ගම්මානයක් ලෙස හැඳින්වීම වඩා යෝග්‍යයි.

කෞතුක ගම්මානය අදියර දෙකක් යටතේ වැඩ ආරම්භය 2018 වර්ෂයේ බී.ඒ.ටී ආරියරත්න මහතා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කරන අවධියේ දී කැබිනට් පත්‍රිකාවකට අනුව ඇරඹුවා. පළමු අදියරේ රුපියල් මිලියන සීයක් මේ සඳහා වියදම් දරා පැරණි බව රැකෙන ලෙස අලුත්වැඩියා කෙරුණ මෙම කෞතුකාගාරය කුඩා කෞතුක ගම්මානයක් ලෙස නිමවෙන අතරේ එක්දහස් අටසිය ගණන්වල මගී ප්‍රවාහනයට යොදා ගත් වාෂ්ප එන්ජින් දහයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රදර්ශනයට තබා තිබෙනවා. එමෙන්ම පැරණි එන්ජින් 27ක් මේ වන විටත් එහි ස්ථානගත කර අවසන්. සුද්දගෙ කාලෙ මෙරට ගමනාගමනයට යොදා ගත් ගැරට් එන්ජින් වැනි ඉතා වටිනා එන්ජින් 42ක් දැක බලා ගන්න සංචාරකයන්ට හැකියාව සැලසෙනවා. දුම්රියට විශේෂිත වූ අක්ෂර ඇති බව දුම්රිය ලෝලීන් දන්නා කාරණයක් බව සඳහන් කළ ඒ මහතා දුම්රිය මැදිරි ආකෘතියක් යොදා ගනිමින් එහි ආපන ශාලාවක් පමණක් නොව පුංචි කෝච්චියක පොඩි රවුමක් යන්න ඉඩ සලසන්නත් සාකච්ඡා කරමින් සිටින බව පැවසීය.

Leave a Reply

Your email address will not be published.