මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය තාවකාලිකව නවතී

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීම තාවකාලිකව නතර කර තිබේ.

අද (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබුණි.

කාර්යාල දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝ‍ධනය කිරීමට මෙහිදී තීරණය වී තිබු අතර දැනට දුම්රිය ධාවනය වන වේලාවට මිනිත්තු 10කට පමණ පෙර අදාළ දුම්රියන් ධාවනය කිරීමට එහිදී සැලසුම් කර තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේවෙතත් මහජනතාවට අදාළ සංශෝධනය පිළිබඳ නිසි දැනුවත් කිරීමක් සිදුවී නොමැති බැවින් අදාළ සංශෝධනය තාවකාලිකව නතර කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි සතිය තුළ දුම්රිය කාලසටහනේ සිදුකරන සංශෝධනයන් පිළිබඳව නිසි දැනුවත් කිරීමකින් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර පොල්ගහවෙල – අලව්ව දුම්රිය ස්ථාන අතර පිහිටි යාංගල් මෝදර දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (14) සහ අනිද්දා (15) යන දිනවල එම හරස් මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ අලව්ව සහ පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතර පිහිටි අඹේපුස්ස – ත්‍රිකුණාමලය ඒ 06 මාර්ග හරහා වැටී ඇති යාංගල් මෝදර දුම්රිය මාර්ගය අලුත්වැඩියා කටයුතු අද දිනයේ සිට ලබන 16 වනදා දක්වා සිදුකිරීමට නියමිතය.

ඒ අනුව හෙට පෙරවරු 07.00 සිට පස්වරු 04. 30 දක්වාත් අනිද්දා දිනයේ පෙරවරු 07.00 සිට පෙරවරු 10.00 දක්වාත්, පස්වරු 02.00 සිට පස්වරු 04.30 දක්වාත් යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගය අර්ධ වශයෙන් රථ වාහන ධාවනය සඳහා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අනිද්දා දිනයේ පෙරවරු 10.00 සිට පස්වරු 02.00 දක්වා එම දුම්රිය හරස් මාර්ගය සම්පූර්ණ වශයෙන් වාසා තැබීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.