22ට සහාය දෙන්න බෑ – පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනපතිට දැනුම්දෙයි

හෙට දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. 

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී 22 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදී කාරක සභා අවස්ථාවේදී කැමති සංශෝධනයක් ඉදිරිපත් කරන ලෙසටය. 

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට සහ අනිද්දා දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. 

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ බහුතර පාර්ශ්වය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද සාකච්ඡාවක් සිදුකර තිබේ. 

මෙහිදී අදහස් දැක්වූ සරත් වීරසේකර මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ “19 වැනි සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදුන් මන්ත්‍රීවරුන් 22 වන  ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදීම විහිලු සහගතයි”. යනුවෙනි.

තමන් 19ට විරුද්ධ වූවාසේම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධ වනවා” යනුවෙන් ද වීරසේකර මන්ත්‍රීවරයා සඳහන් කර ඇත. 

මෙහිදී අදහස් දැක්වූ එස් බී දිසානායක මහතා ද සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ බලය දුර්වල කිරීමට තමාද විරුද්ධවන බවය. 

කෙසේ වෙතත් එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සඳහන් කර ඇත්තේ 22 මුල්කර ගෙන ඡන්ද විමසීමක් පවත්වන ලෙසයටය.

සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයාද මෙහිදී ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්නයක් මතු කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

” 22 හරහා තනි පුද්ගලයෙක් යටතේ තියෙන විධායක බලය වෙනුවට සාමූහික විධායකයක් නිර්මාණය වනවා, ඒකෙන් පස්සේ ඇති වන අභියෝගවලට කොහොමද අපි මුහුණ දෙන්නේ?, ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයින් පසුගිය කාලයේ කටයුතු කළ හැටි අපට මතකයි”.

ඊට ජනාධිපතිවරයා මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත. 

“මම 2002 ඉඳන් ස්වාධීන කොමිෂන් සභා එක්ක වැඩකරලා තියෙනවා. ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයින් එක්ක කටයුතු කරගන්න මට පුළුවන්කම තියෙනවා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා ඇත්තේ  “22 වන සංශෝධනය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ප්‍රතිපත්තිමය වශයෙන් ඊට එකඟ බව ප්‍රකාශ කිරීම සඳහා ඡන්දය ලබාදෙන්න, කාරක සභා අවස්ථාවේදී කැමති සංශෝධනයක් ඉදිරිපත් කරන්න”. යනුවෙනි.

එහිදී නැගී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා “22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු නිසා ඊට සහාය ලබාදීමට පක්ෂයක් ලෙස අපට නොහැකියි, 22ක මුල්කරගෙන මන්ත්‍රීවරු අතර ප්‍රශ්න ඇතිවෙලා 10 දෙනෙක් විපක්ෂයට ගියොත් අයවැයත් පරදින්න පුළුවන්” කියමින් අනතුරු ඇඟවීමක් කර ඇත. 

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි. 

Leave a Reply

Your email address will not be published.