ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය යටතේ සහභාගී වූ පළමු තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණි.

ඒ අයර්ලන්තය කඩුලු 9කින් පරාජයට පත්කරමිනි.

හෝබාර්ට් හි බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී එක් වෙනස්කමක් සමගින් තරගයට පිවිසි අතර පැතුම් නිස්සංක වෙනුවට කණ්ඩායමට කැඳවා තිබුණේ අශේන් බණ්ඩාරවය.

ඒ අනුව පිටියට අයර්ලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක ඇන්ඩෘ බැල්බර්නිව දෙවන පන්දුවාරයේදීම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ළහිරු කුමාර සමත් වුණි.

අයර්ලන්ත ඉනිමේ දෙවන කඩුල්ල ලෙස ලොකන් ටකර් දැවීගියේ මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේය.

තුන්වන කඩුල්ලට පිටියට එක්වූ පෝල් ස්ටර්ලිං සහ හැරී ටෙක්ටර් එක්ව අයර්ලන්ත ඉනිම ශක්තිමත් කිරීමට උත්සාහ කළද තුන්වන කඩුල්ලේ සබඳතාව ලකුණු 29කට සීමාකළ ධනංජය ද සිල්වා ලකුණු 34ක් රැස් කරගෙන සිටි පෝල් ස්ටලිංව දවාගැනීමට සමත් වුණි.

අනතුරුව පිටියට පිවිසි කර්ටිස් කැම්පර්ව ලකුණු 2කට දවාගැනීමට චාමික කරුණාරත්න සමත් වූ අතර පළමු පන්දුවාර 10 නිමවනවිට අයර්ලන්තය කඩුළු 4ක් දැවී රැස්කරගෙන සිටියේ ලකුණු 60ක් පමණයි.

නමුත් බිඳ වැටුණු අයර්ලන්ත ඉනිමට යම් ජීවක් එක්කළ හැරී ටෙක්ටර් සහ ජෝර්ජ් ඩොක්‍රල් පස්වන කඩුල්ලට ලකුණු 47ක සබඳතාවක් ගොඩනැගුවේය.

හැරී ටෙක්ටර් පන්දු 42කදී ලකුණු 45යි.

ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් අනතුරුව කිසිඳු අයර්ලන්ත පිතිකරුවෙක්ට ලකුණු අතරට පිවිසීමට නොහැකිවූ අතර ඒ අනුව අයර්ලන්තයට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 128ක් පමණයි.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු දෙක බැගින් දවාගත්තහ.

ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල පන්දුවාර 15ක් අවසානයේ කඩුල්ලක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්වුණි.

මේ අතර ක්‍රිකට් ලෝකයේ කාගේත් වැඩිම අවධානයක් දිනාගන්නා ඉන්දියා – පාකිස්තාන පසමිතුරු සටන අද පස්වරුවේ පැවැත් වේ.

Leave a Reply

Your email address will not be published.