අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 18,219ක් පීඩාවට පත්වෙයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 4,271ක පුද්ගලයින් 18,219කට පීඩා එල්ලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 06ක්, දැඩි නිවාස හානි 09ක්, අර්ධ නිවාස හානි 442ක් සිදුව ඇති බවය.

මේ අතර ශ්‍රී ලංකාව තුළ දැඩි වර්ෂා සහිත කාලගුණික තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වූ “සිට්‍රැන්ග්” චණ්ඩ කුණාටුව හෙට (25) වන විට බංග්ලාදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සතියකටත් වැඩි කාලයක් තිස්සේ දිවයිනේ පළාත් රැසකට දිවා රෑ දැඩි වර්ෂාවක් ඇදහැලෙමින් පවතී.

මේ හේතුවෙන් මේ වනවිටත් ප්‍රදේශ ගණනාවක ජල ගැලීම් වාර්තා වෙමින් පවතින අතර ජලාශ කිහිපයක් වාන් දැමීමට පටන්ගෙන ඇත.

මෙම තත්ත්වයට හේතු වූයේ මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවුණු ගැඹුරු පීඩන අවපාතයයි.

මෙම සමස්ත කැලඹිලි තත්ත්වය නිසා විටින් විට පැයට කිලෝමීටර 80 ඉක්මවන තද සුළං ඇතිවිය හැකි බැවින් දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශ ඉතා රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

“SITRANG” සුළි කුණාටුවේ බලපෑම තවදුරටත් පැවතීම හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ සහ අන්දමන් මුහුදේ හෙට දිනය තෙක් යාත්‍රා නොකරන ලෙසට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිසද කඩිනමින් ගොඩබිමක් වෙත පැමිණෙන ලෙසද අදාළ උපදෙස්වල සඳහන් විය.

ඒ අනුව බේරුවල, මග්ගොන, පයාගල හා මීගමුව ප්‍රදේශවල ධීවරයින් මුහුදු යාමෙන් වැළකී සිටින අයුරු අද දක්නට ලැබුණි.

මේ අතර, අද උදෑසන 8.30න් අවසන් වූ ගෙවුණු පැය 24ක කාලය තුළ මිලිමීටර 141.5ක වැඩිම වර්ෂාපතනය වාර්තා වී තිබුනේ කළුතර මතුගම ප්‍රදේශයෙනි.

මීට අමතරව මාතර කොටපොළ ප්‍රදේශයට මිලිමීටර 72ක්, යාපනය තෝල්පුරම් ප්‍රදේශයට මිලිටීටර 48.5ක් සහ කුරුණෑගල ගලිගමුව ප්‍රදේශයට මිලිමීටර 41.5ක වර්ශාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හෙට දිනයේ ද බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල පහත්බිම් රැසක් ජලයෙන් යටව ඇත.

අම්බලන්ගොඩ මාදම්පා ගඟ පිටාර ගැලීමෙන් නිවාස 259ක් ජලයෙන් යටව තිබුණි.

ජලය බැසයාම කඩිනම් කිරීම සඳහා මාදම්පා ගඟේ මෝය කට පුළුල් කිරීම ඊයේ (23) ආරම්භ කළේය.

ඇල්පිටිය දියපරදූව ප්‍රදේශයේ ජලගැලීම් තත්ත්වය සති දෙකක පමණ කාලයක සිට බැසනොයාම හේතුවෙන් ප්‍රදේශයේ තේ සහ කුරුඳු වගාවන්ට බලපෑම් එල්ල කර තිබුණි.

හැටන් සිට මහවැලි ගඟ දක්වා ජලය ගලා බසින හැටන් ඔය හරහා නිර්මාණය කර තිබූ යකඩ වැට කඩාවැටීම හේතුවෙන් හැටන් ඔය ඉවුර ඛාදනයට ලක්ව තිබේ.

අයහපත් කාලගුණයත් සමග අම්බලන්ගොඩ දකුණු වතුගෙදර ආනන්දාරාම විහාරයේ චෛත්‍ය මළුවේ පැති බැම්මක් කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් චෛත්‍ය මළුව නායයෑමට ලක්වී ඇත .

ගාල්ල ගිංතොට උක්වත්ත ප්‍රදේශයේ පස් කන්දක් නායයෑම හේතුවෙන් නිවාස දෙකකට හානි සිදුව ඇත.

මේ අතර බේරුවල මැහිමුල්ල ප්‍රදේශයේ නිවසක කොටසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් හානි සිදුව ඇත.

Leave a Reply

Your email address will not be published.