කොන්දොස්තරවරයෙක් ට පහරදීමක්

පුද්ගලික බස් රථහිමියන් ඇතුළු සේවකයින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල සේවකයින්ට සිදුකරන අමානුෂික පහරදීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඉදිරියේ දී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේ, රත්නපුර ඩිපෝවේ මහනුවර – රත්නපුර අතර ධාවනය කළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ කොන්දොස්තරවරයෙකුට පෞද්ගලික බස් රථ සේවක පිරිසක් සිදුකළ පහරදීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරින් මෙතෙක් කටයුතු කර නොමැති බවය.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා ද දැනුවත් කර ඇති අතර මෙතෙක් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමක් සිදුකර නොමැති බව ඔහු පවසයි.

ඒ අනුව අදාළ පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඉදිරියේ දී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේය.

මේ අතර අදාළ පහරදීමට විරෝධය පළ කරමින් ඊයේ (26) දිනයේ සිට රත්නපුර ඩිපෝවේ නිලධාරින් සිය සේවා කටයුතුවලින් ඉවත් වී තිබේ.

ඊයේ දහවල් රත්නපුර ඩිපෝ සේවකයින් උද්ඝෝෂණයක ද නිරත වු අතර අදාළ පහරදීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන තුරු සේවා කටයුතුවලින් ඉවත් වන බව ඔවුන් සඳහන් කළේය.  

Leave a Reply

Your email address will not be published.