කඩා වැටී ඇති තේ කර්මාන්තය යළි නැංවීමට විධිමත් සැලැස්මක්

“නොවැම්බර් මාසය මැද වන විට ගිවිසුමකට එළැඹ දෙසැම්බර් මාසය මැද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට හැකි වුව හොත් ඉතා වාසිසහගත තත්ත්වයක් උදා කර ගත හැකිය”

කඩා වැටී ඇති මෙරට තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අපනයන ආර්ථිකයක් කරා යන ගමනේදී එය ඉතා වැදගත් පියවරක් බව අවධාරණය කළ ජනාධිපතිවරයා, අතීතයේදී මෙරට තේ කර්මාන්තයේ පැවති සශ්‍රීකත්වය යළිත් උදා කර ගත යුතු බව පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (30) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

තේ කර්මාන්තය පිළිබඳ සංගමයේ සභාපතිවරයා අද ඉදිරිපත් කළ වාර්තාවේ ඔහු කනගාටුදායක කතාවක් පැවසුවා. මේ වන විට අපේ රට මුහුණදී සිටින තත්ත්වය දෙස බැලීමේදී එය අවබෝධ කර ගත හැකියි. දැන් මගේ කනගාටුදායක කතාව ඉදිරිපත් කිරීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. මා ටයිටැනික් නෞකාව භාරගෙන තිබෙන්නේ අයිස් කුට්ටියේ ගැටීමෙන් අනතුරුවයි. ඒ නිසා ඔබට සිතා ගත හැකි මා කොතැනින්ද ආරම්භ කළ යුත්තේ කියා. හැම දෙයක්ම අගාධයට වැටිලා තිබුණා. ඒ වන විට රට බංකොලොත් බව ප්‍රකාශයට පත් කර තිබුණා. පළමුව අනෙකුත් අපහසුතා තිබියදී ජනතාවට ප්‍රමාණවත් තරම් ආහාර තිබේ ද යන්න පිළිබඳ අප සහතික විය යුතුව තිබෙනවා. අප ප්‍රකාශ කළ බංකොලොත්භාවය සමඟත් අපේ ආර්ථිකය නතර වීමක් සිදුව තිබෙන අතර, එහිදී උද්ධමනය, බංකොලොත්භාවය යන සෑම දෙයක්ම අපගේ ආර්ථිකයට සිදුව තිබෙනවා. අප නැවත අපේ ආර්ථිකය ගොඩනඟන්නේ කොහොමද? ඒ වෙනුවෙන් අප දැන් සිදු කරමින් සිටින ක්‍රියාවලිය ඔබට පැහැදිලි කිරීමට මා සිතුවා. ප්‍රථමයෙන්ම අප කළ යුතු වන්නේ විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමයි. එහිදී ආනයන සීමා කළ යුතුයි. එමඟින් අපට ඉන්ධන, පොහොර සහ ඖෂධ මිලදී ගත හැකියි. මුලදී මෙම ක්‍රියාවලිය සාර්ථක නොවුණත් එහි යහපත් තත්ත්වයක් දැන් දක්නට ලැබෙනවා. අපේ ආදායම අඩු වී ඇති නිසා අපේ බිල්පත් ගෙවීම සහ අනෙක් අවශ්‍යතා සපුරා ගැනීම අපහසු වී තිබෙනවා. අප කරුණු දෙකක් මතක තබා ගත යුතුයි. මිලියන 1.7ක් වන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සහ ගෙන ඇති ණය ගෙවීම් සිදු කළ යුතුව තිබෙනවා. එය මතක තබාගෙන කටයුතු කළ යුතු වෙනවා. බංකොලොත් ලේබලය ගලවා දැමීමට ප්‍රමාණවත් පියවර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට සිදු වෙනවා. සෑම රටක්ම, සෑම ආයතනයක්ම අපට දන්වා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් යම් සැලැස්මක් සකස් කර ගන්නා ලෙසයි. අපට 2019 වසර වන තෙක් එවැනි සැලැස්මක් තිබුණා. නමුත් පසුව එය අවලංගු වුණා. එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා ආරම්භ කරන්න අපට සිදු වුණා. අපට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. මේ වසරේ අපේ ආර්ථික වර්ධනය වේගය සෘණ 8ක් පමණ වෙනවා. පසුගිය වසරේ තිබුණෙත් ඍණ අගයක්, ලබන වසරේ එය ඍණ 3ක අගයක් ගනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. නමුත් කනගාටුවට කාරණය නම් එම පුරෝකථනය සිදු කරන අවස්ථාවේ සියලු දෙනාම සිතුවේ ලෝක ආර්ථිකය හොඳ මට්ටමක තිබෙයි කියායි. නමුත් දැන් ගෝලීය ආර්ථිකය අයහපත් අතට පත්වනු ඇති බවට ඇඟවීම් ලැබී තිබෙනවා. අපට එහි බලපෑම දැනෙන්නේ කොහොමද? යුරෝපයේ සහ අනෙක් රටවල උද්ධමනය ඉහළ යාම නිසා ජීවන වියදම වැඩි වෙනවා. එවිට අප එම රටවලට සිදු කරන ඇඟලුම්, තේ, කෝපි අපනයන අඩු වෙනවා. අප මෙයත් අවබෝධ කර ගත යුතුයි.

අප ඉදිරි වසර දෙක කළමනාකරණය කර ගත යුතු වෙනවා. අපේ ආදායම 15% සිට 8.5% දක්වා අඩු වුණා. ඒ නිසා අප නැවතත් අපේ ආදායම 15% ක් දක්වා වැඩි කර ගත යුතුයි. එම ඉලක්ක අප 2026 වසර වන විට සපුරා ගත යුතුයි. මෙම සැලැස්මට අප වසර 4ක් යොදා ගත්තා. මෙය වසර දෙකකින් සිදු කිරීමට ගියොත් අපට ඇති වන පීඩනය දරාගන්න පුළුන් වෙයි කියා මා හිතන්නේ නැහැ. අප වසර 4ක් ලබා ගැනීම සුදුසුයි කියා සිතන්නේ 2023 වසර ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයේම ආර්ථිකය අයහපත් වන බව පෙනෙන්න තිබෙන නිසායි. පළමුව අපට මුදල් උපයා ගැනීමට සිදු වෙනවා. ඒ සඳහා කෘෂිකර්මාන්තය ඇතුළුව හැම දෙයකින්ම බදු අය කිරීමට අපට සිදු වුණා. ඒ හැර අපට වෙනත් මඟක් තිබුණේ නැහැ. 2019දී බදු ගෙවන ප්‍රමාණයේ අඩුවක් සිදු වුණා. එවිට ආදායම අඩු වුණා. බදු ආදායම 2019ට පෙර පැවති මට්ටමට ගෙන ඒම සඳහා අප දැන් උත්සාහ කරමින් සිටිනවා.

2019 වසරේ බදු අය කිරීම දෙස බලන විට දැන් එය තනි ඉලක්කමේ අගයක් බවට පත් වෙලා. නමුත් 2020 වසර සමඟ බලන විට එහි විශාල පරතරයක් තිබෙනවා. නමුත් අප දැන් පීඩාවට පත් වෙලා. බදු පමණක් නොවේ, අපේ රුපියල අවප්‍රමාණය වී පොලී අනුපාත ඉහළ ගොස් තිබෙනවා. මේ පසුබිම තුළ අපට කටයුතු කිරීමට සිදු වී තිබෙනවා. අද සාමාන්‍ය ජනතාවට ජීවත් වීම අපහසු වී තිබෙනවා. එවන් පසුබිමක් තුළ අපට ඉදිරියට යෑමට සිදුව තිබෙනවා. අප ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතුයි. ඒ සඳහා අපට ණය ලබා දුන් අය සමඟ සාකච්ඡා කිරීමට සිදු වී තිබෙනවා. ඒ සඳහා මුලින්ම මා බටහිර සහ ජපාන ණය දෙන්නන්ගෙන් සමන්විත පැරිස් සමාජය සමඟ සාකච්ඡා ආරම්භ කළා. අපට ණය ලබා දෙන ප්‍රධාන රටවල් 3න් එක් රටක් වන ජපානය පැරිස් සමාජයේ සිටිනවා. අපට ණය දෙන අනෙක් ප්‍රධාන රටවල් දෙක වන චීනය සහ ඉන්දියාව ඒ අතර නැහැ. චීනය ප්‍රථමයෙන්ම බංකොලොත්භාවය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කළේ සැම්බියාව සමඟයි. මා හිතන්නේ ඉන්දියාව පළමුව එය සිදු කරන්නේ ශ්‍රී ලංකාව සමඟයි. මා මේ වන විටත් ජපානය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඉන් පසුව ඉන්දියාව සහ චීනය සමඟත් සාකච්ඡා කර තිබෙනවා. එකිනෙකාට බලපාන ද්විපාර්ශ්වික ගැටලු පිළිබඳ සාකච්ඡා කරන අතරම එය විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳ පොදු වේදිකාවකට පැමිණිය යුතුයි.

අපට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර නොවැම්බර් මාසය මැද වන විට ගිවිසුමකට එළැඹ, දෙසැම්බර් මාසය මැද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට හැකි වුව හොත් ඉතා වාසිසහගත තත්ත්වයක් උදා කර ගත හැකියි. චීනයේ පක්ෂ සම්මේලනයෙන් පසුව මේ පිළිබඳ අවධානය යොමුව තිබෙන නිසා මෙය සාර්ථක කර ගැනීමට පුළුවන් වෙයි ද කියා මා දන්නේ නැහැ. එසේ නොවුණ හොත් ජනවාරි මාසය වන විට එය සාර්ථක කර ගැනීමට අප ඉලක්ක සහගතව කටයුතු කළ යුතුයි.

ඒ අනුව ඉහළ ආදායමක් ලබාගෙන ඉදිරියට යා හැකි බව අප පෙන්විය යුතුයි. අනතුරව ලබන වසරේ වඩා හොඳ ආදායම් තත්ත්වයක් තිබෙන බව අප සහතික විය යුතුයි.

මේ වන විට බොහොමයක් සංවිධාන සහ රටවල්වලින් අපට සහාය ලැබෙන්න පටන් අරගෙන තිබෙනවා. සමහර රටවල් අපට සෘජුව උදව් කර තිබෙන අතර, තවත් සමහර රටවල් සංවිධාන මඟින් සහාය දී තිබෙනවා. අපට ප්‍රමාණවත් තරම් පොහොර ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයට අප ස්තූතිවන්ත වෙනවා. අමෙරිකාව පවා අපට සහාය දී තිබෙනවා. ඒ නිසා පොහොර ගැටලුව විසඳා ගැනීමට අපට හැකි වුණා. කිසිවෙක් අපට ඉන්ධන සඳහා මුදල් සපයා දෙන්නේ නැහැ. ඒ නිසා පොහොරවලට වැය කෙරෙන විදේශ විනිමය අපට ඉන්ධන ලබා ගැනීම සඳහා යෙදවීමට හැකියි. අද වන විට ඉන්ධන මිල අඩු වී තිබුණත් යුක්‍රේන යුද්ධය නිසා ශීත ඝෘතුවේදී ඉන්ධන මිල ඉහළ යන බවට සියලු දෙනාගේ විශ්වාසයක් තිබෙනවා. මින් පසුව අපට මුහුණදීමට සිදුවන අභියෝගය එයයි. නමුත් අපට පොහොර තිබෙන නිසා ප්‍රථමයෙන් අප සිදු කළ යුත්තේ කෘෂිකර්මය නඟාසිටුවීමයි. එය වී ගොවිතැනින් ආරම්භ කර තේ සහ අනෙකුත් බෝගවලට ව්‍යාප්ත කළ හැකියි. මෙය එක කොටසක් පමණයි. ලබන වසරේ මාර්තු, අප්‍රේල් වන විට මහ කන්නයේ හොඳ අස්වැන්නක් ලබා ගත හොත් රටේ ආර්ථිකය ස්ථාවර කරන්න එය මනා පිටිවහලක් වෙනවා. මේ අතර අපට එකඟතාවන්ට එන්න පුළුවන් වුණොත් අනෙක් රටවල සහාය අපට හිමි වෙනවා. තෙවනුව අපි සංචාරක කර්මාන්තය දියුණු කළ යුතුව තිබෙනවා. ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට සංචාරකයන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක සහගතව කටයුතු කළ හොත් මෙය සාර්ථක කර ගත හැකියි. අවසානයේදී විදේශ මූල්‍ය සංචිත අවශ්‍ය වෙනවා. දැන් එය වැඩි කර ගත හැකි ක්‍රමයක් නැහැ. අප අනෙක් සියලුම ක්‍රම අහිමි කරගෙන තිබෙන නිසා අපට විදේශ සංවිත වැඩි කරගත හැකි එකම ක්‍රමය වන්නේ අපේ ව්‍යවසායන් ඩොලර්වලට අලෙවි කිරීමයි. එමඟින් ඩොලර් බිලියන 4ක් පමණ සංචිතවලට ඇතුළත් කර ගැනීමට හැකි වනු ඇති අතර, එමඟින් රුපියල තවදුරටත් ශක්තිමත් වෙනවා. අපට මේ සියල්ල කළ හැකි වනුයේ අප සම්පූර්ණයෙන්ම වෙළෙඳ ආර්ථිකයක් සහ ඉහළ වර්ධන වේගයක් සහිත ආර්ථිකයක් වෙත ගමන් කරනවා නම් පමණයි.

ඔබේ ක්ෂේත්‍රයේ ගැටලු තිබෙන බව මා දන්නවා. ගොඩනැගිලි ක්ෂේත්‍රය වැනි සියලුම ක්ෂේත්‍රවල ගැටලුකාරී තත්ත්වයන් ඇති වී තිබෙනවා. මට ඒ ගැන අවබෝධයක් තිබෙනවා. ඒ නිසා පොලී අනුපාතය ක්‍රම ක්‍රමයෙන් පහළට දමන්න උත්සාහ කරනවා. උද්ධමනය ඉහළ අගයකට පැමිණ තිබෙන බව මහ බැංකු අධිපතිතුමා අපට දැනුම් දී තිබෙනවා. ලබන වසරේ පෙබරවාරි මාර්තු වන විට පොලී අනුපාතයන්ගේ අඩුවක් දැකගන්න පුළුවන් වේවි. ඒ නිසා අප ගන්නා මෙම ක්‍රියාමාර්ග සමඟ ලබන වසර මැද වන විට පොලී අනුපාතයන් අඩුවීමේ සහනය ජනතාවට දීමට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා. පසුගිය වසර දෙක තුළ රුපියල් ට්‍රිලියන 3.2ක මුදල් අච්චු ගසා තිබෙන බව ඔබ මතක තබා ගත යුතුයි. ඒ නිසා නිෂ්පාදනය ඉහළ දැමීම හැර වෙනත් කෙටි මාර්ගයකින් මේ ප්‍රශ්න විසඳා ගැනීමට අපට පුළුවන්කමක් නැහැ.

ඔබට සහාය දැක් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ අප අවධානය යොමු කර තිබෙනවා. ප්‍රමාණවත් පරිදි පොහොර ලබාගෙන තිබෙනවා. ඒ වගේම පොහොර සැපයුම්කරුවන්ට ගෙවීම් කරන්න තිබෙනවා. තවම ඒ සඳහා මුදල් ලැබී නැහැ. නව බදු එකතු කිරීමෙන් මෙම මුදල් ලබා ගත හැකි වේවි යැයි අප බලාපොරොත්තු වෙනවා. තේ කර්මාන්තය සංවර්ධනය කිරීමට ඇමැතිතුමා හා රාජ්‍ය ඇමැතිතුමා කටයුතු කරන බවට මා සහතික වෙනවා. ඔවුන් මේ සඳහා කැපවීමෙන් කටයුතු කරනවා. තේ කර්මාන්තයට උදව් කරනවා කියන්නේ අප අපටම උදව් කරනවා කියන එකයි. ලබන වසරේදී අනෙක් නිෂ්පාදනත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. රුපියල ස්ථාවර කරන අතරතුර මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. මේ ආර්ථික මොඩලය සමඟ අප ඉදිරියට යා යුතුයි. අපනයනය මත පදනම් වූ ආර්ථිකයකට අප කඩිනමින් ගමන් කළ යුතු වෙනවා. තේ කර්මාන්තයේදී ප්‍රතිරෝපණය ඉතා වැදගත් වෙනවා. තේ කර්මාන්තයේ කඩා වැටීමට ප්‍රධාන හේතුව ප්‍රතිරෝපණය නොමැතිකමයි. එයින් හෙක්ටයාරයකට ලැබෙන අස්වැන්න අඩු වී යනවා. අද වන විට වියට්නාමය පවා අපව අභිභවා ගිහින් තිබෙනවා. අද අප කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩසටහනකට යොමු වී තිබෙනවා.

එයින් තේ කර්මාන්තයට විශාල වටිනාකමක් ලැබේවී. තරගකාරී වගේම දියුණු තේ කර්මාන්තයක් යළිත් රටේ ඇති කළ යුතුයි. ගුණාත්මකභාවයෙන් ඉහළ තේ නිෂ්පාදනය කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. රටේ ඉහළ හා මධ්‍යම ප්‍රදේශවල වැවෙන තේ වුණත් ඒවායේ ගුණාත්මකභාවය අඩු නම් තරගකාරිත්වයක් නැහැ. ඒ නිසා තේ කර්මාන්තය දියුණු කළ යුතුයි. කර්මාන්තශාලා නවීකරණය කළ යුතුයි. ඇතැම් තේ කර්මාන්ත ශාලා හිමිකරුවන්ගේ සේවය ඉතා හොඳ මට්ටමක තිබෙනවා. නමුත් ඇතැමුන් ක්ෂේත්‍රයට අගෞරවයක් වන අන්දමින් කටයුතු කරනවා. තේ කර්මාන්තය ප්‍රතිව්‍යුහගත කර ඔබේ සහයෝගය ඇතුව ඉදිරියට යන වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කළ යුතුයි. මෙය ඉටු කරගන්නා අන්දම පැහැදිලි නැතත් ටයිටැනික් නෞකාව ගැටුණු හිම කන්දෙන් ඉවතට ගන්න මා උපරිම උත්සාහ කරනවා. ‍

මෙහිදී කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත්, බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Rolf Blazer යන මහත්වරු අදහස් දැක්වූ අතර, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.