සිසුවියන්ට අතවර කළ කැකිරාවේ ක්‍රීඩා උපදේශක සොයා විමර්ශන

ක්‍රීඩා පුහුණුවීම් අතරතුර සිසුවියන්ට ලිංගික අතවර කළ බව කියන කැකිරාවේ ප්‍රධාන පාසලක ක්‍රීඩා උපදේශකවරයකු අත්අඩංගුවට ගැනීමට කැකිරාව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව කළ විමර්ශනයේදී එසේ එම ක්‍රීඩා උපදේශකයාගෙන් අතවරයට ලක්වූ සිසුවියෝ 06 දෙනකු පොලිසිය පෙරේදා (01) හඳුනාගෙන ඇත. එම සිසුවියන් අවුරුදු 14ත් 16ත් අතර වයස්වල පසුවන්නන්ය. එම සිසුවියන්ගේ ප්‍රකාශද පොලිසිය සටහන් කරගෙන තිබේ. මෙසේ ක්‍රීඩා උපදේශකගෙන් අතවරයට ලක්වූ සිසුවියන් තවත් සිසුවියන් පිරිසකට මේ ගැන පවසා ඇති බවත් එම සිසුවියන් වැඩිහිටියන්ට ඒ ගැන පැවසීම නිසා පොලිසියට මේ ගැන තොරතුරු ලැබුණු බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ ක්‍රීඩා උපදේශකවරයා වසර 05ක පමණ කාලයක් තිස්සේ අදාළ පාසලේ සේවයේ නිරතව සිටින බව විමර්ශනවලදී පොලිසියට පෙනී ගොස් ඇත. දැනට හඳුනාගෙන සිටින සිසුවියන් පොලිසියට පවසා ඇති ආකාරයට අනුව මේ ක්‍රීඩා උපදේශකවරයාගෙන් ඒ අය අතවරයට ලක්ව තිබෙන්නේ වසර 02ක පමණ කාලයක සිටය. තවත් සිසුවියන් මෙසේ ක්‍රීඩා උපදේශකගෙන් අතවරයට ලක්ව තිබේ දැයි සොයා විමර්ශන පවත්වන බවද පොලිසිය සඳහන් කළේය. ක්‍රීඩා උපදේශකවරයා පුහුණු වැඩමුළුවකට සහභාගිවීමට ගොස් මේ වන විට සිටින්නේ පාසලින් බැහැරව බවත් ඔහු නැවත පැමිණි පසු ඔහු සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published.