මංකිපොක්ස් රෝගීන් දිවයිනට පැමිණීමේ අවදානමක්

වඳුරු උණ හෙවත් මංකිපොක්ස් රෝගය ලෝකයේ අනෙකුත් රටවල තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින රෝගයක් හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට තවත් මංකිපොක්ස් ආසාදිත රෝගීන් පැමිණීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

වඳුරු උණ සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මහතා පැවසුවේ, රෝග ලක්ෂණ නොමැති රෝගීන් පවා විදෙස් රටවල සිට මෙරටට පැමිණීමේ හැකියාව පවතින බවය.

“දැනට අපිට වාර්තා වුණ රෝගියා ප්‍රතිකාර සඳහා යොමුවෙලා තියෙනවා. අපි නිවැරදි ලෙස කළමනාකරණය කරලා ඔහු යොමුවෙලා තියෙනවා ප්‍රතිකාර සඳහා රජයේ රෝහලක. නමුත් මේ වගේ තවත් රෝගීන් පැමිණීමේ අවධානම තියෙනවා. ලෝකයේ අනෙක් රටවල රෝගය තවම පවතින නිසා, යම් අවස්ථාවක තව රෝගීන් පැතිරෙන්න පුළුවන්. සමහර වෙලාවට රෝග ලක්ෂණ නැති රෝගීන් පවා ලංකාවට එන්න පුළුවන්. දැන් ඔහු ප්‍රතිකාර සඳහා යොමුවුණේ රෝග ලක්ෂණ ආපු නිසා. සමහර අය එන්න පුළුවන් රෝග ලක්ෂණ නෑ. ඉතින් අපේ සෞඛ්‍ය පිළිබඳ නිලධාරීන්, ප්‍රජා වෛද්‍ය ඒකකයන් සියලුදෙනාම මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම ඉතාමත් අත්‍යාවශ්‍යයි. මොකද ලෝකයේ රෝගය අඩුවුණාට අපේ රටෙන් තව අවුට්බ්රේක් එකකින් තව රෝගීන් වැඩිවීමක් කුමන වේලාවක දී හෝ සිදුවෙන්න පුළුවන්. පුංචි දරුවන් අතර පවා මංකිපොක්ස් රෝගය පැතිර යෑමේ අවස්ථාවක් තියෙනවා. නමුත් ඒක 0.3%ක් වගේ තමා මේ වාර්තා වුණ රෝගීන්ගෙන් අවුරුදු 4ට අඩු දරුවන් වාර්තාවෙලා තියෙන්නේ. දරුවන්ට මේ රෝගය හැදීම සිදුවන්නේ ගෙදර අයට හැදුනොත් තමා. ඔබ ආරක්ෂා වෙලා ඉන්නවා නම් දරුවන්ට මේක බෝවීමේ අවධානමක් නෑ.”

වඳුරු උණ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා එන්නත්කරණයක් සිදුකිරීමේ අවශ්‍යතාවක් දැනට නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආනන්ද් මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.