රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කරන ජාවාරම් වැඩිවෙයි

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 77කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම අංශයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

සැකකරු 33 හැවිරිදි නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (12) ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් හත් ලක්ෂ 68,000ක මුදලක් වංචා කළ අඹුසැමි යුවළක් තලංගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව පවසමින් අදාළ යුවළ විසින් පසුගිය මාර්තු මාසයේ සිට අවස්ථා කිහිපයක දී ඔවුන්ට අයත් ගිණුමකට මුදල් බැර කරගත් බව පැමිණිලිකරු පොලීසියට සඳහන් කර ඇත.

33 හැවිරිදි සැකකරු සහ 27 හැවිරිදි සැකකාරිය තලංගම දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published.