විගණන වාර්තාව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු දක්වයි

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදම් පියවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මුදල් වැය කර ඇති බවට සඳහන් වූ විගණන වාර්තාවට අදාළව එම අමාත්‍යාංශය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

සයිටම් ආයතනය හෝ නෙවිල් ප්‍රනාන්දු රෝහල සමග කිසිදු ගිවිසුමකට එළඹීමකින් තොරව 2017 වසරේ සිට මෙම වසර දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් කෝටි 218 ක් වැය කර ඇති බවට පසුගියදා විගණන වාර්තාවකින් අනාවරණයක් සිදුකර තිබුණි.

මේ සම්බන්ධයෙන් “අද දෙරණ” සිදුකළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් අදාළ ගෙවීම් සිදුකර ඇති බවය.

2017 වසරේදී හිමි වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ප්‍රකාරව ගත් එම තීරණය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් වන බැවින් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් සඳහා වැටුප් මෙන්ම ඖෂධ ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් ලබාදීම සිදුකළ බව ලේකම්වරයා පැවසුවේය.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වීම හේතුවෙන් අදාළ මුදල් ලබාදීම සඳහා ගිවිසුමකට එළඹීම අත්‍යවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව එම විගණන වාර්තාවට අදාළ කරුණු පැහැදිලි කිරීම විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.