ඉන්දියාවේ දූවිලි අංශුවලින් කොළඹ අහස වැසී යයි

වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමෙන් කොළඹ අහස මීදුම වැනි දුමාරයකින් වැසී ගොස් තිබෙන අයුරු අදත් දැකගත හැකි විය.

එම තත්ත්වය ඊයේ (07) දිනයේ දීද පැවති අතර, සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගලාඒම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසීය.

ඉන්දීය වායු දූෂණයේ බලපෑම හේතු කරගෙන මෙරට වායු දූෂණයද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය  මීට පෙර දීද සඳහන් කර තිබුණි.

ඉන් වැඩිම බලපෑම ඇති කොළඹ, මන්නාරම, වව්නියාව, කෑගල්ල සහ යාපනය ඇතුළු දිස්ත්‍රික්ක රැසකට එල්ල වී ඇතැයි එම ආයතනය සඳහන් කළේය.

ශීත සමය උදාවෙත්ම ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය කැපී පෙනෙන මට්ටමින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අගනුවර වායු දූෂණ මට්ටම සාමාන්‍ය යෙන් තිබිය යුතු මට්ටම මෙන් තුන්ගුණයද ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

වායු ගෝලීය උෂ්ණත්වය පහළ යන උදෑසන කාලවල දී දිල්ලිය මීදුමින් වැසී යන බවද මේ වාර්තාවන් හි දැක්වුණි.

දිල්ලි අගනුවර වායු ගෝලයේ වායු ඝන මීටරයක් තුළ අහිතකර සියුම් අංශු 400ක් පමණ හඳුනාගෙන ඇති අතර, එය සාමාන්‍යයෙන් පැවතිය යුතු වන්නේ අහිතකර වායු අංශු 50ක උපරිමයකය.

Leave a Reply

Your email address will not be published.