තිදරු පියා කපා කොටා ඝාතනය කරයි

තෙබුවන, ක්ලෝඩන් වත්ත  ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පොරවකින්, මන්නයකින් සහ යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු  ඝාතනය කර ඇති බවත්,  කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බවත් තෙබුවන  පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, ක්ලෝඩන් වත්ත, පරණ කොටස , නෑබඩ ප්‍රදේශයේ පදිංචිව සිටී කන්දසාමි පිරබාගරන් නමැති 40 හැවිරිදි තිදරු පියෙකු බව පොලිසිය කීය.

දෙපිරිසක් අතර කලක පටන් පැවතී ආරවුලක් හේතුවෙන් ඊයේ (25) රාත්‍රි ඇතිවූ කතාබහකින් පසු ඝාතනය සිදුව ඇතැයි පොලිසිය කීය.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ හිස, දැත්, දෙපා ඇතුළු ශරීරයේ ස්ථාන කිහිපයක තුවාල රාශියක් දක්නට ලැබෙන බවත් පොලිසිය සදහන් කරයි.

ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බවත් පැවසේ .

ඝාතනයට යොදාගත් මන්නයක් නිවසක මුළුතැන්ගෙයක සගවා තිබියදී සොයාගෙන පොරවක්  සහ යකඩ පොල්ලක් යාබද කැලෑවක තිබී සොයා ගත්බව පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරීයෙක් කීය.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද පරීක්ෂණ සිදුකරන ලදී .

Leave a Reply

Your email address will not be published.