සරණාගතයින් 209ක් සමග යාත්‍රාවක් මුහුදේ ගිලී සිදුවූ ඛේදවාචකය

ඉන්දුනීසියාව බලා ගමන් කළ මියන්මාරයේ රෝහින්‍යා සරණාගතයන් 209 දෙනෙකු රැගත් විශාල ප්‍රමාණයේ යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී අනතුරට ලක්වී දියේ ගිලී ඇති බව මෙරටට පැමිණ සිටින සරණාගතයින් පිරිසක් පවසයි.

ගැඹුරු මුහුදේ අනතුරට ලක්වී, ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් මුදාගත් රෝහින්‍යා සරණාගතයින් පිරිසක් එම සිදුවීම පිළිබඳව නාවික හමුදාව වෙත ප්‍රකාශකර තිබේ.

2017 වසරේදී මියන්මාරයේ ඇතිවූ අර්බුදකාරී තත්ත්වයත් සමග රෝහින්‍යා සරණාගතයන් පිරිසක් බංගලාදේශයේ සරණාගත කඳවුරකට පැමිණ තිබුණි.

එහි වසර ගණනාවක් රැඳී සිටි ඔවුන් පිරිස ඉන්දුනීසියාවට යෑම සඳහා බංගලාදේශයේ මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් හරහා යාත්‍රා මගින් පසුගිය ඔක්තෝබර් මස 30 වනදා දියඹට ගොස් තිබුණි.

ඉන් එක් යාත්‍රාවක කාන්තාවන් හා දරුවන් ඇතුළු 109ක් සහා අනෙක් යාත්‍රාවේ කාන්තාවන් හා දරුවන් ඇතුළු 209ක් සිටි බව සරණාගතයින් පවසා ඇත.

පුද්ගලයන් 209ක් රැගත් යාත්‍රාව අනෙක් යාත්‍රාවටද මඟපෙන්වමින් ඉදිරියෙන් ගමන් කරමින් සිටින අතරතුරදී නොවැම්බර් මස 15 වනදා පමණ ගැඹුරු මුහුදේදී දැවැන්ත කුණාටුවකට හසුවී ඇති බව ඔවුන් පවසයි.

එහිදී පුද්ගලයන් 209ක් රැගත් යාත්‍රාව දියේ ගිලී අතුරුදන්වී ඇත.

අනෙක් යාත්‍රාවද එහිදී කාර්මික දෝෂයකට ලක්වී ඇත.

පසුව එම යාත්‍රාවේ සිටි බංග්ලාදේශ ජාතික ස්කිපර්වරයා ඉන්දියාවට ගොස් අමතර කොටස් ගෙන එන බව පවසා කුඩා බෝට්ටුවක් ඔවුන් සිටින ස්ථානයට ගෙන්වා පළාගොස් තිබේ.

ඒ අනුව මාසයකට ආසන්න කාලයක් මෙම සරණාගතයන් රැගත් යාත්‍රාව මුහුදේ පාවෙමින් තිබියදී පසුගිය 17 වනදා ශ්‍රී ලංකාවට උතුරු දිගින් වූ මුහුදේ දී මෙරට නාවික හමුදාව විසින් මුදාගෙන ගොඩබිමට ගෙනැවිත් තිබුණි.

එහිදී ඔවුන් පිරිස කන්කසන්තුරය පොලීසිය වෙත භාර දී ඇත.

සරණාගතයින් පිරිස ඔවුන් මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ කරුණු අනාවරණ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය. 

ඒ පිළිබඳව ඉදිරියේදී මියන්මාර සහ බංගලාදේශ රජයන් දැනුවත් කිරීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙරට තුළද යාත්‍රා මගින් පුද්ගලයන් විදෙස් ගත කරන බව පවසා මෙවැනිම ජාවාරම් ක්‍රියාත්මක අතර ඒවාට හසුනොවන ලෙසය.

Leave a Reply

Your email address will not be published.