13 වැනි මාසයට ලැබුණ වැටුප

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රීලන්කන් ගුවන් සමාගම එහි සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ආයතනවල සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබේ.

ඒ, රජයේ චක්‍රලේඛවලට පටහැනිව ප්‍රසාද දීමනා ගෙවූ බවට ලැබුණු වාර්තාවක් පදනම් කරගනිමිනි.

පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබුණද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි සේවකයන් වෙත ප්‍රසාද දීමනා ගෙවා ඇති බව අදාළ වාර්තාවේ සඳහන්ය.

ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් සංස්ථාව ලාභ ලබන බව පෙන්වමින් මෙලෙස ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි එහි දැක්වේ.

ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් 4,200 දෙනෙකු සිටින අතර මොවුන්ට මාස දෙකක වැටුපක් මෙලෙස ප්‍රසාද දීමනා ලෙස ගෙවා තිබේ.

සංස්ථාව ලාභ ලබන බව පෙන්වා ඇත්තේ එම සංස්ථාවේ ණය ඇතුළත් නොවු වාර්තාවක් යටතේ බවත් සඳහන්ය.

එහි ඉහළ නිලධාරීන් අතර රුපියල් ලක්ෂ 5ක මාසික වැටුප් ලබන නිලධාරීන් ද සිටින බැවින් යම් යම් නිලධාරීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ප්‍රසාද දීමනා ගෙවා ඇතැයිද වාර්තා වේ.

එලෙස ලක්ෂ ගණනින් බොහෝ පිරිසක් ප්‍රසාද දීමනා ලබා ගැනීම නිසා රුපියල් කෝටි 120ක මුදලක් වැය වැයවී ඇතැයි ද සඳහන්ය.

එමෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සේවකයන් 5,800 දෙනෙකු සිටින අතර ඔවුන්ට 13 වෙනි මස වැටුප ලෙස සඳහන් කරමින් සේවකයෙකුට රුපියල් ලක්ෂය බැගින් ගෙවා ඇතැයිද දැක්වේ.

ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 58කි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පාදක කරගනිමින් මෙලෙස 13 වෙනි මස වැටුප ලෙස දක්වා ප්‍රසාද දීමනා ගෙවීම අනුමත කර ඇතැයි ජනපතිවරයා වෙත ලබාදුන් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

රජයේ චක්‍රලේඛ කඩකරමින් ප්‍රසාද දීමනා ගෙවීම පිළිබඳව ජනාධිපතිවරයා මෙම ආයතන දෙකෙන් නිදහසට කරුණු විමසා ඇති අතර නිදහසට කරුණු දැක්වීමෙන් පසු මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගැනීමට නියමිත බවද වාර්තා වේ.

ජනතාව ආර්ථික පීඩාවට පත්ව ඇත්තේ මෙම ආයතනවල ණය බර නිසාවෙන් වුවත් තව තවත් ජනතාවට බර පටවමින් ගත් මෙම තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කනස්සල්ල පළ කර ඇතැයිද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.