දෙමටගොඩ කඩු ගබඩාවක් වටලයි

දෙමටගොඩ ධර්මාරාම පාර, කාලිපුල්ල වත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ තියුණු ආයුධ තොගයක් සමග එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරුගේ නිවසේ තිබී කඩු 13ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

එම නිවස තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්. එල්. ආර්. මධුරංග මහතාට ලද තොරතුරක් අනුව එම නිවස වටලා සිදුකළ පරික්ෂාවේදී පොහොර උරයක දමා තිබූ  කඩු තොගය සොයාගත් බව පොලීසිය පැවසීය.

නිවසේ හිමිකරු ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී කාලිපුල්ලවත්තට නිරතුරුවම ආ ගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ “පරිප්පුවා” නමැත්තා ගේ සහෝදරයා වන වරුණ ලක්මාල් මධුරංග ගේ නම පවසා මුහුණ පුරා රැවුල වවාගත් තරුණයින් දෙදෙනක් මීට සති දෙකකට පමණ ඉහතදී රාත්‍රී 11.30ට පමණ ලක්මාල් කියු බව පවසමින් මෙම ආයුධ තොගය නිවසෙහි තබා “අපි ආපහු අරගෙන යන්න එනවා” යනුවෙන් පවසා පිටත්ව ගිය බවය.

ආයුධ තොගය සම්බන්ධයෙන් සැකකරු සිදුකරන ප්‍රකාශ සත්‍යදැයි සෙවීම සඳහා දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව පොලීසිය කීය.

ඉකුත් දෙවැනි දින දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය මගින් වරුණ ලක්මාල් මධුරංග නමැති පුද්ගලයාව අත්අඩංගුවට ගෙන රක්ෂිත  බන්ධනාගාරගත කර ඇති බවට තොරතුරු අනාවරණය වී යැයි පොලිස් නිලධාරියකු පැවසීය.

අත්අඩංගුවට ගත් 53 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.