පාස්කු නඩුවේ 17 වන විත්තිකරු මරුට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩු විභාගයක් මාර්තු මස 31 දක්වා කල්තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (28) නියම කර තිබුණි.

ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ ගොනුකර තිබෙන නඩුවේ 17 වන විත්තිකරු වශයෙන් නම්කර සිටින යාසීර් බාබා අබ්දුල් රවුෆ් නමැති විත්තිකරු මියගොස් තිබෙන බව බන්ධනාගාර නිලධාරීන් විසින් දැනුම්දීම හේතුවෙනි.

මෙම නඩුව අද දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නඩුවේ 17 වන විත්තිකරු ඉකුත් 05 වනදා මිය ගොස් ඇති බව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.

අදාළ විත්තිකරු මියගොස් තිබෙන බැවින් නඩුවට අදාළ චෝදනා සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

එම ඉල්ලීමට ඉඩදුන් අධිකරණය අනතුරුව චෝදනා පත්‍රය විවෘත අධිකරණයේ සංශෝධනය කරනු ලැබීය.

ඉන් අනතුරුව නඩු විභාගය මාර්තු මස 31 වනදා දක්වා කල්තැබීමට ද අධිකරණය තීන්දු කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published.