රජයේ නව බදු ප්‍රතිපත්තියට ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති විරෝධය

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද වෘත්තීය ක්‍රියාමාර්ග හා උද්ඝෝෂණ වල නිරත වුණි.

ඒ අනුව ලංකා බැංකු සේවක සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය පමණක් අද වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ අතර වරාය හා ඛනිජතෙල් වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණි.

මේ අතර වෛද්‍ය, දුම්රිය , ගුරු සහ තැපැල් වෘත්තිය සංගම් ඊට සහාය පළකරමින් විරෝධතා පැවැත්විය.

මේ අතර සමස්ත ලංකා හෙද සංගමය අද පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වුණි.

එසේම සමස්ත ලංකා හෙද සංගමය අද දහවල් ප්‍රදේශ කිහිපයක රෝහල් ඉදිරිපිටදී උද්ඝෝෂණවලද නිරතවුණා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට සහාය පළ කරන බව ප්‍රකාශ කර තිබූ අතර රෝහල් බාහිර රෝගී අංශ වෙත පැමිණ සිටි රෝගීන් මේ හේතුවෙන් අපහසුතාවට පත්ව සිටියේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින් අද දියත් කළේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකි.

අද පෙරවරු 7 සිට හෙට පෙරවරු 7 දක්වා පැය 24 ක කාලයක් ඔවුන් එම ක්‍රියාමාර්ගයේ නිරතව සිටී.

මේ අතර වරාය සේවකයින් අද දහවල් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුවා.

එමෙන්ම ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව ද අද අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කර තිබුණි.

ඛනිජතෙල් සේවකයින් අද දහවල් උද්ඝෝෂණයකද නිරත වුණේ කොළොන්නාව පර්යන්තය ඉදිරිපිටදීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණව සිටියේය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගවලට ලංකා ගුරු සංගමය ද සහාය පළ කර තිබූ අතර ඒ අනුව ඇතැම් ගුරුවරුන් අද කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කර සිටිනු දක්නට ලැබුණි.

තැපැල් වෘත්තීය සමිතිද කළු පටි පැලඳ අද දින සේවයට වාර්තා කර තිබුණි.

තවත් වෘත්තීය සංගම් රැසක් අද දින වෘත්තීය ක්‍රියාමාර්ගවලට සහාය පළ කළේය.

මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව තවත් රාජ්‍ය ආයතන කිහිපයකම වෘත්තීය සමිති අද දහවල් උද්ඝෝෂණ සංවිධාන කර තිබුණි. 

මේ අතර නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව දිවයිනේ ස්ථාන 12 කදී උද්ඝෝෂණ සංවිධාන කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.