සමෘද්ධි බැංකුවක දැවැන්ත මුදල් වංචාවක්

සමෘද්ධි බැංකුවක තැන්පතු කරුවන්ගෙන් රුපියල් නවකෝටි විසිපන් ලක්ෂයක මුදලක් වංචා කළ එම බැංකුවේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක ඇතුළු සිව්දෙනෙකු ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබේ.

එම වංචාව සිදුවී ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවක ය.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර වැඩ තහනමට ලක්වූ සමෘද්ධි බැංකු කළමණාකරුවෙකු සහ ව්‍යාපාරිකයින් දෙදෙනකු වන බවද පොලීසිය පැවසීය.

අදාළ සමෘද්ධි බැංකුවේ මුදල් තැන්පතුකරුවන්ට ණය ලබාදෙන ආකාරයට ව්‍යාජ ලේඛන සකස් කර මෙම මූල්‍ය වංචාව සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව සමෘද්ධි නිලධාරිනිය ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඊයේ හෙරොම්බාව ප්‍රදේශයේදී අත්ඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

අවුරුදු 48ත් 56ත් අතර වයසේ පසුවන මෙම සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published.