වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහි අභියාචනය කැඳවීමට දිනයක්

වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන අභියාචනය ලබන 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා අදාළ අභියාචනයේ වගඋත්තරකරු ලෙස නම් කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙත සිතාසි නිකුත් කරන ලෙසද එම නියෝගයේ සඳහන් වෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය  ඉකුත්දා නියෝග කළේය.

එම නියෝගය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් මෙම අභියාචනය කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published.