අරගලකරුවන්ගේ පෙත්සම්වලට මුලික විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිට කල්දෙයි

ඉකුත් වසරේ මාර්තු මස මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල පැවති උද්ඝෝෂණවලදී පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් අරගලකරුවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නීතිපතිවරයාට කල් ලබාදුනේය.

එම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා අධිකරණයට දන්වා සිටියේ, අදාළ පෙත්සම් පත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් තමා විසින් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය.

ඒ අනුව අදාළ විරෝධතා සති හතරක් තුළ ගොනුකරන ලෙස නීතිපතිවරයාට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම නැවත සලකා බැලීම සඳහා ජුලි මස 17 වනදා කැඳවන ලෙස නියම කළේය.

විජිත් මළල්ගොඩ, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බැලුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ඉකුත් වසරේ මාර්තු 31 වන දා මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල පැවැති උද්ඝෝෂනවලින් පසුව පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගත් බවය.

පොලිසිය විසින් තමා අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරුවන් විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.