පළාත් පාලන ආයතන ගැන ආණ්ඩුකාරවරුන්ව දැනුවත් කෙරේ

පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස් පාලනයකට යටත් කිරීමෙන් අනතුරුව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් දැනුවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආණ්ඩුකාරවරු සමග පැවති සාකච්ඡාවකදී එම දැනුවත් කිරීම සිදු කර ඇත.

එළඹෙන 19 වනදායින් අනතුරුව පළාත් පාලන ආයතන 341ක නිල කාලය කොමසාරිස් පාලනයකට යටත් කිරීමට නියමිතය.

ඒ අනුව, මහනගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන්ට සහ නගර සභා හා ප්‍රාදේශීය සභාවල පාලනය එහි ලේකම්වරු යටතට පත්වනු ඇත.

රජය ගනු ලබන තීන්දු, තීරණ පළාත් පාලන ආයතන මට්ටමෙන් ක්‍රියාවට නැංවීමේදී ජනතා අපේක්‍ෂාවන් ඉටුවන අන්දමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  මහතා සියලු ආණ්ඩුකාරවරුන්ට පෙන්වා දී තිබේ.

එමෙන්ම පළාත් පාලන ආයතනවල කටයුතු පිළිබඳව නිරන්තර සොයා බැලීමක් ආණ්ඩුකාරවරුන් විසින් කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

මීට අමතරව පළාත් පාලන ආයතන මගින් දැනට ඉටු කෙරෙන සේවාවන් අඛණ්ඩව එලෙසින් ක්‍රියාත්මක කිරීමට අදාළ නාගරික කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් මෙහෙයවීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධාරණය කර ඇති බව සඳහන්ය.

මේ අතර එළඹෙන 19 වන දිනට ප්‍රථම සියලු පළාත් පාලන ආයතන සභාපතිවරුන් සහ මන්ත්‍රීවරු භාවිත කරන වාහන ඇතුළු රජයේ දේපළ යළි භාර දෙන ලෙසටද දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published.