හරක් කටා හා කුඩු සළිඳු නිදහස වෙනුවෙන් කෝටි ගණනක් වියදම් කරයි

නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සහ සළිඳු මල්ෂික නොහොත් ‘කුඩු සළිඳු’ තමන් දෙදෙනාව නිදහස් කරන ලෙස ඉල්ලා මැඩගස්කර ආරක්ෂක අංශ නිලධාරීන්ට රුපියල් කෝටි ගණනක මුදලක් වියදම් කර ඇති බව එරට ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම ඔවුන් දෙදෙනා බේරාගැනීම සඳහා මෙරටින් නීතීඥ කණ්ඩයමක් ද ගොස් ඇති බව විදෙස් වාර්තා අනාවරණ කරයි.

‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ රැගෙන ඒමට පසුගිය සෙනසුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මැඩගස්කරය බලා පිටව ගියේය.

ඒ සහකාර පොලිස් අධිකාරී මිහිඳු අබේසිංහ, ජාත්‍යන්තර පොලිස් ශාඛාවේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජකරුණා, පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි හා මෙහෙයුම් අංශයේ සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර සහ විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා යන කණ්ඩායමය.

ඒ වනවිටත් කාන්තා නීතීඥවරියන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුගෙන් සමන්විත මෙරට නීතීඥ කණ්ඩායමක් හරක් කටා හා කුඩු සලිඳු බේරාගැනීම සඳහා එරටට ගොස් සිට තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් දෙදෙනාව මැඩගස්කරයේ රහසිගත ස්ථානායක තැබීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවද විදෙස් වාර්තා පෙන්වාදෙයි.

එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනාගේ ලබාගත් ඡායාරූප දෙකක් ද අපට ලැබී තිබුණි.

ඒ, එරට තුළ ක්‍රියාත්මක වන මාෆියා කණ්ඩායම් පැමිණ ඔවුන් දෙදෙනාව මුදවාගෙන යාහැකි බවට ඇතිවූ සැකයක් හේතුවෙනි.

මොවුන් දෙදෙනා තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් මැඩගස්කර ගුවන්තොටුපොළෙහි සිටි එරට නිලධාරීන් පිරිසකට රුපියල් කෝටි ගණනක මුදල් ලබාදුන්නද ඔවුන්ව නිදහස් නොකිරීම හේතුවෙන් කලහාකාරී ලෙස හැසිරී ඇතැයි ද වාර්තා වෙයි.

එහිදී ඔවුන් BLOODY MADAGASCAR යනුවෙන් බැනවැදී ඇතැයි ද සඳහන් ය.

තමන්ව නිදහස් කරන්නේ නම් අමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදලක් තවත් නිලධාරීන් කණ්ඩායමකට ලබාදීමට ද මොවුන් සූදානම් කර තිබූ බව පැවසෙයි.

අනතුරුව මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් කෙන්යාවට අයත් ගුවන් යානයකින් ඔවුන් දෙදෙනාව මැඩගස්කර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද සමගින් නයිරෝබි නුවර වෙත රැගෙනවිත් තිබුණි.

එතැනින් ඉන්දියාවේ මුම්බායි නුවර දක්වා පැමිණි යානයකින් හරක් කටා හා කුඩු සළිඳුව රැගෙන එනු ලැබුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සැලසුම් කළ මෙහෙයුමකිනි.

ඉන්දීයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ද ඊට සහාය ලබාදී තිබේ.

මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී ද හරක් කටා හා කඩු සළිඳු ඉන්දිය ආරක්ෂක අංශ සමඟ කලහකාරී ලෙස හැසිරීම නිසා ඔවුන්ව සිර කුටියකට දැමීමට එරට ආරක්ෂක නිලධාරීන් උත්සාහා කර ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ තමන් සියදිවි නසා ගන්නා බවය.

කෙසේවෙතත් මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් සිව්දෙනා අනතුරුව මුම්බායි නුවර සිට හරක් කටා හා කුඩු සළිඳුව ඊයේ පෙරවරුවේ මෙරටට රැගෙන ආවේය.

ඔවුන් මෙරටට ළඟවන විට දැඩිලෙස සන්සුන්ව හැසිරී ඇති බවද වාර්තා වෙයි.

සැකකරුවන් දෙදෙනා විදෙස් රටවලදී කලහකාරී ලෙස හැසිරෙමින් එරට ආරක්ෂක අංශ සමග ගැටුම් ඇති කරගැනීමට උත්සාහා කර ඇත්තේ, එරට තුළ රක්ෂිත බන්ධනාගාර ගතවී පළායෑමේ අදහසින් බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණ කරගෙන තිබේ.

මේ අතර අද දිනයේදී කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ හරක් කටාව හා කඩු සළිඳුව පරීක්ෂා කර නිරීක්ෂණ සටහන් කරගත්තේය.

එහිදී ඔවුන් දෙදෙනාව රඳවා සිටින සිරමැදිරි ද පරීක්ෂා කර ඇති මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගෙන් විමසා ඇත්තේ යම්කිසි දෙයක් පැවසීමට තිබෙනවාද යනුවෙනි.

එම අවස්ථාව්දී සැකකරුවන් පවසා ඇත්තේ තමන්ට පැවසීමට කිසිවක් නොමැති බවය.

හරක් කටා හා කුඩු සළිදු වෙන්වෙන්ව සිර මැදිරිවල දමා ඇති බවද වාර්තා වෙයි.

මේ අතර නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හරක් කටාගේ දේපළ පිළිබඳව සිදුකළ විමර්ශනවලදී රුපියල් මිලියන 100කට අධික වටිනාකමකින් යුත් දේපළ සිය භාරයට ගෙන තිබේ.

ඒ අතරට බස්, වෑන් සහ වෙළඳ සංකීර්ණ ද අයත්ය.

එවන් පසුබිමක අද දිනයේදී හරක් කටාගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහුගේ පියා වන නෙල්සන් මර්වින් වික්‍රමරත්න අභියාචනාධිකරණයට රිට් පෙත්මක් ඉදිරිපත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.