අයිස් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසුවේ එම සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් පොලිස් භාරයට ගත් බවය.

එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවට අනාවරණය වී ඇත.

රත්මලාන මහින්දාරාම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ලබාදීම සඳහා ධර්මාරාම ප්‍රදේශයට පැමිණෙන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇඳ මෙට්ටයක් තුළ ඉතා සූක්ෂම ව සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් සොයාගෙන තිබේ.

වැඩිදුර විමර්ශන වලදී හෙළි වී ඇත්තේ ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන එල්ලාවලගේ ධර්මසිරි නොහොත් “පැටියා” නමැති ජාවාරම්කරුට මෙම මත්ද්‍රව්‍ය තොගය අයත් බවය.

එම පුද්ගලයා එරට සිට “WhatsApp” තාක්ෂණය ඔස්සේ ලබා දෙන උපදෙස් මත වෙනත් පුද්ගලයින් විසින් ගල්කිස්ස, රත්මලාන, මොරටුව, පිලියන්දල, දෙහිවල ආදී ප්‍රදේශ වලට අයිස් මත්ද්‍රව්‍ය තොග වශයෙන් බෙදා හරින බවට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් 36 හැවිරිදි සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published.