පොලීසියෙන් හැංගි හැංගි බූරු මූණා ආ ගිය තැන්

ඝාතන සිද්ධීන් රැසකට සැකපිට අත්අඩංගුවට ගත් රවිඳු වර්ණ රංග හෙවත් බූරු මූණා නමැත්තා නවාතැන් ගත් ස්ථාන සහ රැකවරණය දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් මෙන්ම තවත් පැති කීපයක් ඔස්සේ විශේෂ විමර්ශනයක් සිදුකරන බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

ඉකුත් පෙබරවාරි මස 24 වනදා කටුනායක ගුවන්තොටුපොළ පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පළායාමෙන් අනතුරුව දින දෙකක් මීගමුවේ හෝටලයක ගතකර ඇති ඔහු පසුව කුරුණෑගල ප්‍රදේශයට යෑමෙන් අනතුරුව බූරු මූණා ව කුරුණෑගල කොස්කැලේ ප්‍රදේශයේ සිට ඔහුව තිරප්පනේ නිවසක් වෙත  රැගෙන ගොස් ඇත්තේ නීතිඥවරයෙකු බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම නිවස හෝමාගම පදිංචි විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට අයත් නිවසක් බවත් එම විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු අධිකරණයට භාර කිරීම සහ ඔහුට රැකවරණයක් ලෙස ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් නීතිඥවරයකුට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇතැයිද එම විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණයවී තිබේ.

බූරු මූණා නැමැත්තාට තිරප්පනේ නිවසේ රැකවරණය ලබාදී ඇත්තේ ඉතාලියේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන රත්ගම විදුර නැමැත්තාගේ ඉල්ලීම මත ඩුබායි සී සැඟව සිටින ගඟන නැමැති  සංවිධානාත්මක ආපරාධකරු බව හෙළිවී තිබුණි.

ඉකුත් පහළොස් වනදා  සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තිරප්පනේ නිවස වෙත වෑන් රථයකින් ගොස්  බූරු මූණා නැමැත්තාව තිරප්පනේ නිවසින් රැගෙන කරවනැල්ල හෝටලයක් වෙත ඇරලවා පිටවී ගොස් තිබූ බවද පොලිස් විමර්ශනවලදී තවදුරටත් අනාවරණ වී ඇත.

බූරු මූණා නැමැත්තා නවාතැන් ගත් ස්ථාන සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සැකකරු රැගෙන ගිය අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියකු කීය.

බූරු මූණා නැමැත්තාව විවිධ අපරාධ සඳහා කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර, රත්ගම විදුර, ගඟන හා ඩිලාන් නමැති සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විවිධ අපරාධ සඳහා යොදාගෙන ඇති බව ද පොලීසිය කීය.

සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන ඔහු මෙතෙක් සිදුකළ අපරාධ, ඒවාට රැකවරණය දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් මෙන්ම ඝාතන සඳහා යොදාගත්  ස්වයංක්‍රීය ගිනිඅවි යම් ත්‍රස්තවාදී සංවිධානයකින් ලැබුණේද ?  මුදල් ලද ආකාරය සහ තවත් කරුණු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.