කොන්දේසි පහකට යටත්ව පෞද්ගලිකරණයට එකඟයි

කොන්දේසි පහකට යටත්ව පිවිතුරු හෙළ උරුමය පෞද්ගලිකරණයකට එකඟ වන බව  පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. 

අද (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,

“දේශපාලන බලපෑම නිසා රාජ්‍ය ව්‍යවසායන්ට බඳවා ගන්නේ පාක්ෂිකයා මිස දක්ෂයා නොවේ. ඉතින් පෞද්ගලික ව්‍යවසායේ ඉන්නා දක්ෂයා සමග පාක්ෂිකයාට තරග කරන්න බෑ තමයි.  ඒ වගේම පෞද්ගලික ව්‍යාපාර මිල දී ගන්නේ අඩුම මිලට තිබෙන ප්‍රමිතියෙන් යුත් භාණ්ඩයි.  රාජ්‍ය ව්‍යවසාය මිල දී ගන්නේ වැඩිම කොමිස් මුදල ගෙවන සැපයුම්කරුවාගේ භාණ්ඩයි.  සෑම රාජ්‍ය ව්‍යවසායකටම මේ කරුණු අදාළ නොවුණත් සාතිශය බහුතරයක් සම්බන්ධයෙන් මේ කරුණු අදාළයි.  ඒ නිසා කොන්දේසි පහකට යටත්ව අපි පෞද්ගලිකරණයකට එකඟයි.”

කොන්දේසි පහ පහතින් දැක්වේ.

1) පෞද්ගලිකරණය අතිශයින්ම විනිවිදභාවයකින් සිදුවිය යුතුයි. පෞද්ගලිකරණය අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික කමිටුවක් පිහිටුවිය යුතුයි.  පෞද්ගලිකරණයට පෙර ආයතනයේ සැබෑ වටිනාකම පිලිබඳ තක්සේරු වාර්තාවක් ඒ කමිටුවට ඉදිරිපත් කළ යුතුයි.  ඒ වගේම පෞද්ගලිකරණයෙන් පසු සාධාරණව සහ විනිවිද භාවයෙන් පෞද්ගලිකරණ ක්‍රියාවලිය සිදුවුණු බවට විගණන වාර්තාවක් ඒ කමිටුවට ඉදිරිපත් කළ යුතුයි. මේ කමිටුවේ අනුමැතියකින් තොරව කිසිම ආයතනයක්  පෞද්ගලිකරණය කිරීමට රජයට නොහැකි විය යුතුයි.

2) පෞද්ගලිකරණයේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව සූරා කන වෙළඳපොලක් බිහි වීම වලක්වන්න සැබෑ නියාමනයක් තිබිය යුතුයි.

3) මව්බිමේ සතුරන් අතට මෙම ආයතන පත් වී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් පෞද්ගලිකරණය සිදු නොවිය යුතුයි.

4‍) පෞද්ගලික අංශයේ කේවල් කිරීම් වැලැක්වීමට සහ හදිසි අවස්ථාවන්ට මුහුණ දීමට අවශ්‍ය කරන ආයතන පෞද්ගලිකරණය නොකල යුතු නමුත් නව ව්‍යවසායකයින්ට අවස්ථාව ලබා දී උපරිම තරගකාරි වෙළඳපොලකට අවස්ථාව සැලසිය යුතුයි.

5) උපාය මාර්ගිකව වැදගත් ආයතන රාජ්‍යය සතුව තබා ගත යුතුයි.

“දැනටමත් පෞද්ගලිකරණයට තෝරා ගෙන තිබෙන ආයතන සඳහා විකුණන්නේ කාටදැයි කියන එකත් කලින්ම තීරණය කරලා ඉවරයි කියලා විවිධ කටකතා පැතිරෙනවා.  පෞද්ගලිකරණය සඳහා ආණ්ඩුව ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල් යුගවල මෙන් පරණ පාරේ ගියොත් කොමිස් කුට්ටි සඳහා රාජ්‍ය දේපල තුට්ටු දෙකට විකුණන්න හැදුවොත් “රාජ්‍ය සම්පත් සුරකිමු” කියන සටන් පාඨයට යලි පණ ඇවිල්ලා මේ ආයතනවල බර ඊ ලඟ පරම්පරාවටත් පැවරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.”

Leave a Reply

Your email address will not be published.