කෘෂි උපාධි ආයතනයේ අක්‍රමිකතා රැසක් එළියට

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ රුපියල්  කෝටි පහකට  ආසන්න මුදලක් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතු තුනක 2021 වර්ෂයේදී  ආයෝජනය කර ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

තවද පර්යේෂණ කටයුතු සඳහා පර්යේෂණ ප්‍රධාන වශයෙන් එම ආයතනයට  ලැබී තිබූ දෙකෝටි පනස් ලක්ෂයක මුදලක්ද  එම පර්යේෂණ සඳහා ප්‍රශස්ත අන්දමින් උපයෝජනය නොකර ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර තිබුණු බව   වාර්තාවේ දැක්වෙයි.

ආයතනය සතු  ස්ථාවර තැන්පතු ප්‍රමාණය පසුගිය වර්ෂ 5 ක කාලය තුළදී රුපියල් කෝටි 25 කින් පමණ වැඩිවී තිබියදීත් භාණ්ඩාගාරයෙන් ගන්නා ලද රාජ්‍ය ප්‍රදාන  ප්‍රමාණයද කෝටි  දෙකකින් වැඩි කරගෙන ඇතැයි  විගණන  නිලධාරීහු පෙන්වා දෙති.

එසේම ජාත්‍යන්තර සංවර්ධන පර්යේෂණ ආයතනය පර්යේෂණ සඳහා ප්‍රදානය කර තිබූ රුපියල් 12,00000 ක පමණ මුදලක්  ප්‍රයෝජනයට යොදා ගෙන නොතිබූ බව වාර්තාවේ දැක්වේ.

මේ අතර එම ආයතනය පවත්වාගෙන යන පාඨමාලා 94 ක් ආරම්භ කර වසර තුනේ සිට වසර 46 දක්වා කාලයක් ගතවී ඇතත් ඒ පාඨමාලා සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ගෙන නොතිබූ බවද  වාර්තාව සඳහන් කරයි.

ආයතනයේ නිලධාරීන්  31  දෙනකු වසර  හයට  වැඩි කාලයක් එකම ස්ථානයක සේවය කරමින් තිබූ බව පවසන විගණන කාර්යාලය විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තියක්  ක්‍රියාත්මක නොකිරීම නිසා මේ තත්වය ඇතිවූ බවද ප්‍රකාශ කරයි.

ඇතැම් නිලධාරීන් වසර 39 ක් එකම ස්ථානයක රාජකාරි  කර තිබූ බවද එහි දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගිය 4 වැනිදා ඉදිරිපත් කෙරුණු පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ 2021 වාර්ෂික වාර්තාවේය.

Leave a Reply

Your email address will not be published.