සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවට තවත් හෝරා කිහිපයයි

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සියලු නැකත් හෙට (14) දිනට යෙදී තිබේ.

ඒ අනුව අලුත් අවුරුද්දට පෙර දිනය වන අද (13) දිනයේ බොහෝ පිරිසක් තම අවශ්‍යතා සපුරාගැනීම සදහා ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණෙමින් සිටින බවය.

මීට අමතරව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රාජකාරී කටයුතු සිදුකරන පිරිස් තම ගම්බිම් බලා යාම සඳහා ඊයේ රාත්‍රියේ මෙන්ම අද අලුයමත් කොළඹ මධ්‍යම බස් නැවතුම්පලට සහ බැස්ටියන් මාවත පෞද්ගලික බස් පර්යන්තයට පැමිණෙමින් සිටී.

එමෙන්ම තවත් පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ තම ප්‍රවාහන කටයුතු සපුරාගන්නා අතර අද අලුයම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ජනතාව පැමිණෙමින් සිටින බව අද දෙරණ වාර්තාකරුවන් සදහන් කළේය.

මීට අමතරව කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ද මගී ජනතාව අද අලුයම පැමිණ සිටි අතර ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේ සියලු ජනතාවට කිසිදු ගැටලුවකින් තොරව ගම්බිම් බලා යාම සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ඇති බවය. 

මේ අතර ඇතැම් පුද්ගලයින් අද දිනය තුළත් කැවිලි වර්ග සහ නිවාස සඳහා අවශ්‍ය අනෙකුත් භාණ්ඩ ලබාගැනීම සඳහා ව්‍යාපාරික ස්ථාන වෙත ගමන් කරමින් සිටින අතර ඇතැම් ව්‍යාපාරිකයින් කළු කඩ මිලක් නිර්මාණය කර ඇති බවට ද පාරිභෝගිකයින් චෝදනා කර සිටී.

ඒ අනුව පසුගිය දින කිහිපයේ දී මෙන්ම පාරිභෝගික අධිකාරීයේ නිලධාරීන් අද දිනයේදීත් වැඩි මිලට භාණ්ඩ අලෙවිකරන ව්‍යාපාරිකයින් සොයා වැටලීම් සිදුකරනු ඇති.

මේ අතර අප්‍රේල් 14 වන සිකුරාදා එනම් හෙට දින පූර්වභාග 02.59ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

හෙට පූර්වභාග 08.35 සිට අපරභාග 09.23 දක්වා පුණ්‍ය කාලය යෙදී තිබේ.

නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ ආහාර පිසීමේ නැකත අපරභාග 03.29ටත්, වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අපරාභාග 05.05ටත් යෙදී ඇති බවය. 

හිසතෙල් ගෑමේ චාරිත්‍රය 16 වන ඉරුදින පුර්ව භාග 09.41ටත් රැකී රක්ෂා සදහා පිටත්ව යාම අප්‍රේල් 17 වැනි සදුදා පූර්ව භාග 06.28ටත් යෙදී තිබේ.

මේ අතර සිංහළ සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සහ හෙට යන දෙදින තුළ දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව අද දිනයේ සිට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් හට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සදහන් කළේ අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළ එම අවස්ථාව හිමිවන බවය.

Leave a Reply

Your email address will not be published.