බීමත් රියදුරන් නිසා උත්සව සමයේ රිය අනතුරු ඉහළට

බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා දිවයින පුරා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විශේෂයෙන් අධිවේගී මාර්ගවලට ඇතුළු වන ස්ථානවල ආරක්ෂාව සඳහා අතිරේක පොලිස් කණ්ඩායම්ද යොදවා ඇති බවය.

අලුත් අවුරුද්දෙන් පසුව ගම්බිම්වල සිට කොළඹට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කර ඇති බව නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා,

“අධිවේගී මාර්ගයේ ඇතුළු වන ස්ථානවල සහ පිටවන ස්ථානවල බීමත් රියදුරන් පරීක්ෂාකිරීම සඳහා විශේෂයෙන් පොලිස් කණ්ඩායම් යොදවලා තියෙනවා. ඒ වගේම අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට නොසුදුසු වාහන එනවා, ඒ වගේම නොසුදුසු ආකාරයේ බඩු භාණ්ඩ පටවාගෙන එන වාහන ඇතුළුවීම සඳහා පැමිණෙනවා අපි අවස්ථාව දෙන්නේ නැහැ. මොකද වාහනත් වැඩියි. කොහොමත් අනාරක්ෂිත වාහනවලට ඇතුළුවීම අවස්ථාව ලබාදෙන්නේ නැහැ. ඒ වගේම කොළඹ දෙසට එන මංතීරුවල, ඒ වගේම පිටවීම් මධ්‍යස්ථානවල යම් යම් තදබදයන් ඇතිවෙන්නට පුළුවන් කිසිම අවස්ථාවක ඔබ අධිවේගී මාර්ගයේ වාහන පෙළට පැමිණෙනවා හැරෙන්නට කිසිම අවස්ථාවක අධිවේගී මාර්ගයේ පිටවීම් ස්ථානවල මංතීරුවෙන් ඉවතට ගොස් ගමන් කිරීමට උත්සහා කරන්නට එපා. එන මංතීරුවේ වාහන එක් පසක එකක් පැමිණිය යුතුයි.  ඒ වාහනවලට විතරයි පිටවීමට අවස්ථාව ලබාදෙන්නේ.”           

මේ අතර බීමත්ව රිය පැදවීම හේතුවෙන් ඊයේ (15) දිනය තුළ මාරක රිය අනතුරු දෙකක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

පොළොන්නරුව ඕනෑගම මාර්ගයේ සහ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මෙම අනතුරු සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.