ආචාර්යවරුන්ගෙන් රජයට රුපියල් කෝටි 200ක පොල්ලක්

උසස් අධ්‍යාපනය සහ සප්ත වාර්ෂික නිවාඩු මත විදේශගතව යළි නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200කට ආසන්න හිඟ මුදලක් රජයට අය වියයුතුව ඇති බව හෙළිවී තිබේ.

ඒ කෝප් කමිටුව හමුවේදීය.

එහිදී අනාවරණ වූයේ විදෙස්ගතවූ ආචාර්යවරුන් 617 දෙනෙකුගෙන් අදාළ මුදල් පියවීම් සිදුකර ඇත්තේ 84 දෙනෙක් පමණක් බවය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණි.

ඒ අනුව ගෙවීම් නොකළ ආචාර්යවරුන්ගේ ඇපකරුවන්ගෙන් හෝ මෙම මුදල අය කරගැනීමට ක්‍රියා කළ යුතු බවත් මීට අදාළව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මසක් තුළ කෝප් කමිටුවට දැනුම්දෙන ලෙසත් කමිටුව නිර්දේශ කර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට එක් නොවීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ එහිදී අවධානය යොමුකර තිබේ.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වී අදට මාස දෙකකුත් දින 10ක් ඉක්මවා ඇත. 

උත්තර පත්‍ර පරීක්ෂා කිරීම අරඹන්නේ ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්ඡාවකින් පසුව බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

ඒ පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසුවේ ලබන 07 වනදායින් පසු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදීමට හැකියැයි ජනාධිපති ලේකම් කාර්යාලය දැන්වූ බවය.

මේ අතර සිය ගැටලු වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාසල් දරුවන් ප්‍රාණ ඇපයට ගැනීම සදාචාර විරෝධී බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය අවධාරණය කරයි.

මේ අතර උසස් පෙළ විභාග විෂයන් 63 න් 52 ක පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා ප්‍රමාණවත් අයදුම්පත් ලැබී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

පුරප්පාඩු පවතින භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව ඇතුළු විෂය 11කට අදාළව පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම සඳහා වන අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාරගැනීමේ කාලය අද (04) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කළ බවද ඔහු සඳහන් කළේය.

එම කාලය 2023.05.02 දින මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබුණි.

Leave a Reply

Your email address will not be published.