ඩෙංගු වැලඳුනු දරුවන් 40ක් ළමා රෝහලේ

ඩෙංගු රෝගයට ගොදුරු වූ දරුවන්ගේ අක්මාවට හානිවීම වැළැක්වීම සඳහා මව්පියන් වගකීමෙන් ක්‍රියා කළයුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ, ඩෙංගු රෝගය වැලඳී සුවය ලැබු දරුවන්, කඩිනමින් යළි වෙහෙසකර කාර්යන්ට යෙදවීම තුළින් අක්මාවට සිදුවන හානිය දරුණු විය හැකි බවය.

“ඩෙංගු සුව වී ගෙන එනකොට සතියක් දෙකක් යනකල් දරුවාව වැඩිපුර මහන්සි කරවන්න එපා. අක්මාව ඩැමේජ් වුණොත් මොළයට බලපාන්න පුළුවන්. ඒ නිසා ඩෙංගු කියන එක ලේසියට ගන්න එපා. ඩෙංගු හැදුණොත් එකේ සංකූලතා එන්න පුළුවන්.”

මේ අතර  විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ ඩෙංගු වැළඳුනු දරුවන් 40ක් මේවනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි ප්‍රතිකාර ලබන බවය.

“ළමා රෝහලේ අද වෙනවිට ඩෙංගු රෝගීන් 40ක් පමණ සිටිනවා. ඒ නිසා කල්පනාකාරී වෙන්න. අපේ දරුවන්ව විශේෂයෙන්ම බේරගන්න. රෝග ලක්ෂණ තියෙනවා නම්, දවස් දෙක තුනකට වැඩිය උණ තියෙනවා නම් රුධිර පරීක්ෂණයක් කරගන්න. එතැනදි සුදු රුධිරාණු හා පට්ටිකාවල අඩුවක් තියෙනවා නම් රුධිර පට්ටිකා 150ට වගේ අඩුවෙලා තියෙනවා නම් රෝහලක් වෙත යන්න.”

දරුවාට ස්වභාවික දියර ආහාර දෙන්න. රතු පාට කළු පාට ආහාර ලබාදෙන්න එපා. පැරසිටිමෝල් මාත්‍රාවට පමණක් ලබාදෙන්න. ඕනවට වැඩිය පැරසිටිමෝල් ලබාදෙන්න ගියොත් දරුවාගේ අක්මාවට හානිවෙන්න පුළුවන්.”

ඩෙංගු රට තුළ අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ මේ වන විට අනතුරු අඟවා තිබේ.

එවන් පසුබිමක, වසර ආරම්භයේ සිට පසුගිය 09 වැනිදා දක්වා මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 31,993කි.

ඩෙංගු රෝගයේ වැඩිම ව්‍යාප්තියක් ඇති පළාත ලෙස බස්නාහිර පළාත හඳුනාගෙන ඇති අතර ඊයේ (10) දිනය වන විට බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබු සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 15,746කි.

ඒ අනුව බස්නාහිර පළාතේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ආශ්‍රීතව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන්වලදී ,මත්තේගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ඊයේ සිදුකළ පරික්ෂා කිරීමකින් ඩෙංගු මදුරු කීටයන් රැඳී සිටි ස්ථාන 11ක අයිතිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published.