පොලිස් නිල සුනඛයා අතුරුදන්වූ පුද්ගලයාව සොයාගනී

පසුගිය 03 වනදා සිට අතුරුදන්වී ඇති බව කියන බලංගොඩ ප්‍රදේශයේ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී ප්‍රදේශයෙන් පළාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය අදාළ පුද්ගලයා අතුරුදන්වීමට පෙර අවසන්වරට ලබාගත් දුරකථන ඇමතුම ඔස්සේ විමර්ශන සිදුකර ඉකුත් 06 වනදා අදාළ පුද්ගලයාගෙන් ද ප්‍රශ්න කර තිබුණි.

පසුව ඉකුත් 08 වනදා අදාළ ප්‍රකාශය ලබාගත් පුද්ගලයා සමනලවත්ත ප්‍රදේශයේ තේ දළු කැඩීමට ගිය අවස්ථාවේ අතුරුදන්ව ඇති බවට සඳහන් කරමින් ඔහුගේ බිරිඳ විසින් බලංගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව එම සිදුවීම් දෙක සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් සිදුකර පසුගිය 10 වනදා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.

එහිදී පොලිස් නිල සුනඛයෙකු ලබාදුන් ඉව ඔස්සේ සමනලවත්ත කැළෑබද ප්‍රදේශයකට පොලීසිය ගමන්කර ඇත.

ඒ අනුව, ඉකුත් 08 වනදා අතුරුදන්වූ බවට පැමිණිල්ල ලද පුද්ගලයා අතුරුදන්වූ බවට සඳහන් වූ ස්ථානයේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් බලංගොඩ දියවේල්, රාස්සගල ළඳු කැළෑබද ප්‍රදේශයක සිටියදී ඊයේ (11) දින දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඉකුත් 03 වනදා අතුරුදන්වූ පුද්ගලයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට ඔහුගෙන් ප්‍රශ්න කිරීම හා ඒ සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් ඔහුව සැකකරන බැවින් බියවී පළමුව අතුරුදන්වූ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් ලද දිනක නැවත ගමට පැමිණීමේ අදහසින් කිසිවෙකුටත් නොකියා ගමෙන් පළාගිය බවට ප්‍රකාශකර තිබේ.

ඒ අනුව අදාළ සැකකරුව අද (12) දින බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලීසිය පැවසීය.

2018 වසරේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිද්ධියක් ද බලංගොඩ සමනලවත්ත ප්‍රදේශයෙන් වාර්තා විය.

ඒ සහන් කුමාර නමැති දස හැවිරිදි දරුවෙක් පාසල් නිමවී නිවසට පැමිණි පසු නැවත සමනලවත්ත කැළයට ගොස් අතුරුදන්වීමත් සමගය.

Leave a Reply

Your email address will not be published.