කුණාටුවකට හසුවූ ධීවරයන් 6 ක් නාවික හමුදාව බේරාගනී

බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ දී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 6දෙනෙක් නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ.

ලංකාවට බටහිර දෙසින් වූ මුහුදේදී අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාත්‍රාව තුළට ජලය කාන්දු වී මුහුදේ ගිලෙමින් පැවති එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින්ව මෙලෙස බේරාගැනීමට සමත්වූ බව නාවික හමුදාව පැවසීය.

එම පිරිස මේ වනවිට නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන එමින් සිටින බව ද නාවික හමුදාව නිවේදනය කරයි.

පසුගිය 12 වනදා ධීවරයින් 6 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාව මීගමුව ධීවර වරායෙන් රැකියාව සඳහා මුහුදු ගොස් තිබුණි.

ඒ අනුව ඊයේ (13) අලුයම් කාලයේ දී බේරුවල මුහුදු සීමාව ආසන්නයේදී එම යාත්‍රාව අනතුරට ලක්ව තිබේ.

බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකළ දැනුම්දීමකට අනුව වහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 208 යාත්‍රාව අනතුරට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමුකර ඇත.

අනතුරුව, එම යාත්‍රාව කඩිනමින් අනතුරට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ගොස්, ගිලෙමින් තිබූ එම බහුදින ධීවර යාත්‍රාවේ ජීවිත අවදානමට පත්ව සිටි ධීවරයින් හයදෙනා නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published.