බේරුවල වරායෙන් රට ඇතුළට එන්න හැදූ වසංගතය

බේරුවල ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා 40ක පමණ මදුරු කීටයින් ලක්ෂ ගණනක් තිබී සොයාගැනීමට කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අද (16) හැකිවුණි. 

මෙහිදී දැඩිලෙස සෞඛ්‍ය උපදෙස් කඩකළ බහුදින යාත්‍රා හිමිකරුවන් 14දෙනෙකුට නඩු පවරනු ලැබීය.

මේ වසරේ ජනවාරි පළමුවනදා සිට ඊයේ (15) උදෑසන දක්වා කාලය තුළ මෙරටින් හමුවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34,217කි.

එම රෝගීන් අතරින් විසි දෙදෙනෙකුට සිය ජීවිතය අහිමිව ගොස් තිබේ. 

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

බ්‍රිටෝ දර්ශකය යනු ඩෙංගු මදුරු කීටයන්ගේ ඝනත්වය මනින ජාත්‍යන්තර ඒකකයකි .

එහිදී සලකා බැලෙන්නේ ඩෙංගු වෛරසය වැඩියෙන්ම ව්‍යාප්ත කරන ඊඩිස් ඊජිප්ටයි මදුරු ගහනය කෙතරම් ප්‍රමාණයක් සිටිනවාද යන්නය.

ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශවලට අනුව යම් රටක යම් ප්‍රදේශයක ඊඩිස් ඊජිප්ටයි මදුරුවන්ගේ ඝනත්වය 3කට අඩු අගයකින් පවත්වාගත යුතුය.

බ්‍රිටෝ අගය යම් ප්‍රදේශයක 3ත් 5ත් අතර අගයක් ගන්නවා නම් එය අවදානම් තත්ත්වයකි.

මේ කරුණු සමග සංසන්දනය කිරීමේදී අවදානම් සහගත කරුණ වන්නේ නවතම සෞඛ්‍ය වාර්තාවලට අනුව මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ බ්‍රිටෝ අගය 06කි.

කොළඹ දිස්ත්‍රික්කයේ බ්‍රිටෝ අගය 5.5කි.

එයින් කියවෙන්නේ “ඩෙංගු” බෝවන ස්ථාන රැසක් ඔබ නොදැනුවත්වම ඔබේ වටපිටාවේ තිබෙන බවය.

මේ අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකය සාම්ප්‍රදායික ඩෙංගු කීටයන් බෝවිය හැකි ස්ථානවලට අමතරව තවත් ස්ථාන රැසක් හඳුනාගෙන තිබේ. 

එම ඒකකය පෙන්වා දෙන්නේ, ඉදිකිරීම් අවසන් නොකළ කොන්ක්‍රීට් ස්ලැබ් මත රැස්වන ජලය දින 5කට වරක්වත් ඉවත් කළ යුතු බවය.

එමෙන්ම වැහි පීලි සතිපතා පිරිසිදු කිරීම, ජල ටැංකි සම්පූර්ණයෙන් වසාදැමීම හෝ කුඩා සිදුරු සහිත දැලකින් ආවරණය කිරීමෙන් ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි. 

නිවසේ ඇති ජලය රැඳෙන විසිතුරු මල් පැල භාවිතය අඩු කිරීමත් පක්ෂීන්ට ජලය තබන පක්ෂි තාටාංගවල ජලය සතිපතා මාරු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. 

ඉදිකිරීම් ස්ථානවල වැලි හා සිමෙන්ති ආදිය වැස්සෙන් ආරක්ෂා කිරීමට භාවිත කරන පොලිතීන් ආවරණ මතද මදුරු කීටයක් බෝවිය හැකිය. 

ඉහළින් විවර සහිත යකඩ හෝ ගැල්වනයිස් බට ඇත්නම් ඒවා කැප් එකකින් ආවරණය කිරීමෙන් ඒ තුළ ජලය රැස්නොවනු ඇත.

මීට අමතරව නිතර ජලය රැස්වන ස්ථානවලට කීට නාශක රසායනික දියර ඔබට යොදාගත හැකි අතර ඊට ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් ලබාගත හැකිය.

මේ අතර ඩෙංගු මැඩලීම සඳහා දිවයිනේ ප්‍රදේශ රැසක ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මකය.

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල නිවාස පරීක්ෂා කිරීම අදත් සිදුකෙරුණි.

දොම්පේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඉදිකිරීම් අවසන් නොවුණු මහල් නිවාස පරික්ෂාවට ලක්කෙරුණි.

කළුතර බේරුවල අවට ප්‍රදේශයේ ධීවර පවුල් කිහිපයක් පසුගියදා ඩෙංගු රෝගයට ගොදුරු වූ අතර ඒ පිළිබඳ කරුණු සොයා බැලීමට කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද බේරුවල ධීවර වරායට පැමිණ තිබුණි.

මෙහිදී දැඩිලෙස සෞඛ්‍ය උපදෙස් කඩකළ බහුදින යාත්‍රා හිමිකරුවන් 14දෙනෙකුට නඩු පවරනු ලැබීය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු වසංගතය පාලනය කිරීම සදහා අමතර දීමනාවකින් තොරව සේවයට එක්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.