විජයග්‍රහණයට වසර 14 ක් – රණවිරු සැමරුම හෙට

විජයග්‍රහණයට වසර 14යි

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා භූමිය මුළුමනින්ම නිදහස් කරගත් ජාතියේ ඒ සුවිශේෂි විජයග්‍රයණයට අද දිනට වසර 14ක් සපිරෙයි.

ශ්‍රී ලංකා හමුදාවන් එල්.ටී.ටී.ඊ ග්‍රහණයේ පැවති අවසන් බිම්කඩත් මුදාගනිමින් ශ්‍රී ලංකාද්වීපයම එක ධජයක් යටතට පත්කෙරුණේ 2009 වසරේ මැයි මස18 වැනි සදුදා දිනයේදියී.

1975 වසරේ ජූලි 27 වන දින ඇල්ෆ්රඩ් දොරේඅප්පා ඝාතනය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව පුරා ත්‍රස්තවාදී සෙවනැලි සැරිසැරීමට පටන්ගත් අතර දශක 03 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ සැහැසිකම්වලින් පීඩා වින්දේය.

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි.

ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මඟින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වේ.

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මානුෂීය මෙහෙයුම සඳහා නායකත්වය දුන් අතර ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.

මේ අතර යුද ජයග්‍රහණය සැමරීම සඳහා වන රණවිරු සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 4.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු සැමරුම අභියසදී පැවැත්වීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published.