ගේට්ටුවට වෙඩිතැබූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

ප්‍රසිද්ධ පාවහන් සමාගමක ආයතන ප්‍රධානියකුගේ බොරැල්ල හරස් පාර ප්‍රදේශයේ නිවසක ගේට්ටුවට වෙඩිතැබීමේ සිද්ධියක් පසුගිය 22 වනදා වාර්තා විය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සමාගමේ ආයතන ප්‍රධානියා ඇතුළු පුද්ගලයින් සිවුදෙනෙකු කොළඹ දකුණු අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ආයතන ප්‍රධානියා විසින් එය රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් මත සැලසුම් සහගතව සිදුකළ අපරාධයක් බවට අනාවරණයවීමෙන් අනතුරුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ හිටපු හමුදා සෙබළෙක්, ආයතන ප්‍රධානියාගේ රියදුරන් දෙදෙනා ද වන බව පොලීසිය පවසයි.

එම වෙඩිතැබීමට යොදා ගත් ටී-56 වර්ගයේ ගිනිඅවියක් මැගසින් 2ක් සහ ජීව උණ්ඩ 64ක් පොලිස් භාරය ගෙන ඇත.

පසුගිය 22 වනදා උදෑසන 5.30ත් 6.00ත් අතර වේලාවේදී යම් පිරිසක් නිවස ඉදිරිපිට ගේට්ටුවට වෙඩිතබා ඇති බවට සැකකාර ආයතන ප්‍රධානියා විසින් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

එම පැමිණිල්ල අනුව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වූ කරුණු අනුව අදාළ ආයතන ප්‍රධානියා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සියලුම දේ අනාවරණය කරගැනීමට පොලීසියට හැකි විය.

සැකකාර ආයතන ප්‍රධානියා තනතුර දරන සමාගම ඥාති සහෝදරයින් කිහිපදෙනෙකු හරහා පාලනය වන අතර පැමිණිලිකරු විසින් යෝජිත විශේෂ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් රැස්වීමක් එදිනම සවස පැවැත්වීමට නියමිතව තිබී ඇත.

ඊට යම් බලපෑමක් එල්ල කිරීම සඳහා මෙම වෙඩිතැබීම සැලසුම් සහගතව සැකකරු විසින් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.

වෙඩිතැබීම සඳහා පැමිණි සැකකරුවන් ටී-56 ගිනිඅවියකින් වෙඩි ප්‍රහාර දෙකක් ගේට්ටුවට එල්ලකර තිබුණි.

එමගින් කිසිවෙකුට ජීවිත හෝ දේපළ හානියක් සිදුවී නොමැත.

මේ සඳහා සැකකරු විසින් ඔහුගේ රියදුරන් දෙදෙනාගේ සහාය ලබාගෙන ඇති අතර හිටපු හමුදා සෙබළා මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

ඒ සඳහා සැකකරු පොරොන්දු වූ රුපියල් ලක්ෂ 10ක මුදලින් මේ වනවිට රුපියල් 09 ලක්ෂ 50,000ක මුදලක් හමුදා සෙබළා සහ රියදුරන් දෙදෙනා වෙත ලබාදී තිබූ බවද විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.