කියුව් නගරයෙන් පිපිරීම් හඬ රැසක්

දින 12ක විරාමයකින් පසු රුසියාව යුක්‍රේනයේ කීව් අගනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඉරානයේ නිෂ්පාදිත ෂාහිඩ් වර්ගයේ ඩ්‍රෝන යානා සහ කෘෘස් මිසයිල යොදාගත් බව යුක්‍රේන බලධාරීන් ප්‍රකාශ කළේය.

සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය මඟින් එම ඩ්‍රෝන් සහ මිසයිල රැසක් බිම හෙළූ බවත්, නිවාස රැසකට අලාභ හානි සිදුව ඇති බවත් ඔවුන් සඳහන් කළේය.

කියුව් අගනුවරින් පිපිරීම් හඬ රැසක් අසන්නට ලැබුන බව විදෙස් වාර්තාකරුවන් ප්‍රකාශ කළේය.

අද අලුයම දෙකේ සිට පැයකට වැඩි කාලයක් යුක්‍රේන අගනුවර අනතුරු ඇඟවීමේ සයිරන් නාදවූ බව වාර්තා වේ. 

මේ අතර රුසියානු හමුදා ප්‍රදේශ 4 කින් ඉදිරියට පැමිණෙන බවත් යුද පෙරමුණේ උග්‍ර සටන් පවතින බවත් යුක්‍රේන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරිය සඳහන් කළාය.

තත්ත්වය ඉතා සංකීර්ණ වන අතර, බක්මුත් සහ දකුණු දිග මෙලිටපොල් නුවර සටන්වලදී කිසියම් සාර්ථකත්වයක් අත්පත්කරගැනීමට යුක්‍රේන හමුදා සමත් වූ බව ඇය සඳහන් කළාය.

දකුණු දිග සටන් පෙරමුණේ වුවද රුසියානු හමුදාවලින් දැඩි ප්‍රතිරෝධයක් එල්ල වන අතර, ඉදිරියට යාම ඉතා සෙමෙන් සිදුවන බව යුක්‍රේන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරිය කියා සිටියාය.

මේ අතර රුසියාව විසින් මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගත් ඇමරිකානු බාස්කට් බෝල්ශූරිය වෙනුවට සිරකරු හුවමාරු ක්‍රමය යටතේ නිදහස් කරගත් ආයුධ ජාවාරම්කරුවකු වන වික්ටර් බවුට් රුසියානු දේශපාලනයට පිවිසීමට සැරසෙන බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.