දුරකථනයක් නිසා 15 හැවිරිදි සිසුවියක් වස බී මරුට

ජංගම දුරකථනයක් පාසලට රැගෙන පැමිණි ශිෂ්‍යාවකට පසු දින පියා සමඟ පැමිණෙන්න යි විදුහල්පතිවරයකු විසින් අවවාද කිරීමෙන් පසු ශිෂ්‍යාව වස පානය කර දිවි නසාගෙන ඇත.

මිය ගිය ශිෂ්‍යාව ගලෙන්බිඳුණුවැව හුරුලුනිකවැව අනුර විද්‍යාලයයේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි දැරියක් බව වාර්තා වෙයි.

ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් හුරුලුනිකවැව ජයසිරිගම ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යාව ඉකුත් 04 වන දා පාසලට ජංගම දුරකථනය රැගෙන පැමිණ ඇති බව සඳහන් වෙයි.

පසු ව ජංගම දුරකථනය පාසලේ විදුහල්පතිවරයා විසින් සිය භාරයට ගෙන, එය නැවත ලබා දීම සඳහා පසු දින පියා සමඟ පැමිණෙන්නැ යි අවවාද කර ඇත.

නමුත් ඉන් කලබලයට හා බියට පත් වී ඇති දැරිය නිවසේ තිබූ සිය පියා ගොවිතැන් කටයුතු සඳහා භාවිත කරන වස වර්ගයක් පානය කර ඇති බව වාර්තා වෙයි.

වස පානය කළ සිසුවිය ඉතා ඉක්මනින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ද ඇය මිය ගිය බව සඳහන් ය.

මේ පිළිබඳ ගලෙන්බිඳුණුවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු පැවසුවේ, 05 වැනි දා උදෑසන 06.30ට පමණ ශිෂ්‍යාව සිය නිවසේ දී වස පානය කර ඇති බව ය.

මේ අතර, වාර්තා වන අන්දමට ඇය පවුලේ එක ම දරුවා බව ද ස්ථානාධිපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published.