පාස්කු සැකකරුවෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට තොරතුරු දැන සිටියදී එය ආරක්ෂක අංශවලට වසන් කළේ යැයි චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කරසිටින දෙමටගොඩ මහවිල උද්‍යානය පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් මහතාගේ පුත්‍රයකු වන ඉස්මයිල් අහමඩ් නමැත්තාගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා කියා සිටියේ මෙම විත්තිකරුට ඇප ලබාදීමට තරම් සුවිශේෂ කරුණු කිසිවක් අනාවරණය නොවන බවය.

ඒ අනුව ඇප ඉල්ලීම ඉවත දමන බව විනිසුරුවරයා සඳහන් කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම්, ඔහුගේ පුතුන් දෙදෙනා වන හිජාස් අහමඩ් සහ ඉස්මයිල් අහමඩ් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබේ.

නමුත් මොහොමඩි ඊබ්‍රහිම් සහ ඔහුගේ පුත්‍රයෙකු වන හිජාස් අහමඩ් මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදාහැර සිටී.

මෙම විත්තිකරුවන් තුන් දෙනාට අදාළ නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published.