ජනපතිගේ සංචාරයේ ප්‍රතිඵල ගැන විදේශ ඇමතිගෙන් සමාලෝචනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේ ප්‍රතිඵල පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (22) ජනාධිපති මාධ්‍ය ඒකකයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්‍රි විසින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණු අතර, ඉන්දීය රජය සමඟ එළැඹි එකඟතා පිළිබඳ දැනුවත් කිරීමක් එහිදී සිදුවිය.

නුවරඑළිය ආශ්‍රිතව විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සහ ඉන්දීය විශ්වවිද්‍යාල මෙරට ස්ථාපිත කිරීම සඳහා දෙරට අතර සාකච්ඡා සිදුවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, ලංකාවට පැමිණ වසර 200ක් පමණ වන ඉන්දීය සම්භවයක් සහිත වතුකර දමිළ ජනතාවගේ ප්‍රගතිය උදෙසා ඉන්දියාවේ මැදිහත්වීමෙන් ආධාර ලබා දීම පිළිබඳ ජනපතිවරයා සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවසීය.

කෘෂිකර්මය හා සත්ත්ව පාලනය සඳහා අවශ්‍ය නව තාක්ෂණික දැනුම ලබාගැනීම සඳහා ඉන්දියාව සමඟ එකඟ වූ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

කාලාන්තරයක් තිස්සේ පවතින උතුරු මුහුදේ බොටම් ට්‍රෝලින් කටයුතු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ධීවරයන්ට ඉන්දීය මුහුද හරහා අරාබි මුහුදට යෑම සඳහා අවස්ථාව දීම පිළිබඳද සාකච්ඡා ඇති වී තිබේ.

මේ අතර, ඉන්දියන් සාගරය ඇතුළු කලාපයේ කටයුතු කිරීමේදී අන්‍යෝන්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන දේ සඳහා එකඟතාවකට පැමිණි බවද විදේශ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.