ලාංකික සිසුන් පිරිසකට චීනයෙන් ශිෂ්‍යත්ව

2023/2024 වසර සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිරිසකට චීනයේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය දා කොළඹ චීන තානාපති කාර්යාලයේදී පැවැත්වුණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා, ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,  තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

මෙම වසරේ, ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් 34 දෙනෙකු ආචාර්ය උපාධි, ශාස්ත්‍රපති උපාධි හා මූලික උපාධි සඳහා චීනයේ පළාත් හා ප්‍රධාන නගර 16ක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල 30කට අධික සංඛ්‍යාවකට ඇතුළත් කරගෙන ඇති බව තානාපති කාර්යාලය පවසයි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස ලාංකික සිසුන් සඳහා 1975 වසරේ සිට චීන රජය ශිෂ්‍යත්ව පිරිනමයි.

ඒ අනූව සෑම වසරකම ශ්‍රී ලාංකික සිසුන් 80කට පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කර තිබේ.

මෙම අවස්ථාවට එක්වු අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටියේ, “ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගු කාලීන මිතුදමක් තිබෙනවා. ඒ මිත්‍රත්වය අපි තවදුරටත් පවත්වාගෙන යනවා. අපට ආචාර්ය උපාධි 4ක් පිරිනැමුණා. මෙවර 34 දෙනෙකුට එම ශිෂ්‍යත්ව පිරිනැමෙනවා. ස්තූතියි මේ වසරේදීත් අපට ශිෂ්‍යත්ව ලබාදුන්නාට.” යනුවෙනි.

එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා ද පවසා සිටියේ, “මේ ලැබිලා තියෙන්නේ වටිනා අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ සිසුන් චීනයේ ඉගෙනුම ලබනවා. ඒ වගේම චීනයේ සිසුන් ලංකාවට එනවා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා. මෙය හොඳ අවස්ථාවක් දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගන්න.” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published.